මාදැල් හබය


මාධ්‍යය තුළින් ජනතාවටත්, රජයටත් කියන කරුණු වලට වඩා තත්ත්වය සංකීර්ණය. නව මාදැල් හිමියන් සහායක ධීවරයන්ට ප්‍රමාණවත් ලාභ පංගුවක් ගෙවන්නේ නම් ප්‍රශ්නය ඉතා සරළය. මෙම මාදැල් හිමියන් සාධාරණ වන්නේ නම් දේශපාලකයන්ට සත්‍යග්‍රහ කරුවන් සමඟ වාඩිවී වැළපෙන්නට සිදුවන්නේ නැත.
සංඛ්‍යාවෙන් වැඩි  සුළුපන්න ධීවරයන් සහ කුලී ධීවරයන් සමඟද දේශපාලකයා වාඩිවන්නේ නම් ඔවුන්ටත් හොඳය.

 (මෙම ලියුම්කරු සාම්ප්‍රදායික ධිවර මහතකුගේ දරුවෙකි. ධීවරයෙකු නොවුනත් කරදිය වළල්ල සමග ජීවිතය ප්‍රයෝගිකවම අත්දක්කෙකි. ආරංචි රාළ මේ ලිපිය කිසිදු සංස්කරණයකින් යුතුව ඉදිරිපත් කරන්නේ ඔහු ඉදිරිපත් කරන සියලු කරුණු එකහෙලාවම පිළිගන්නා නිසාය. ආරංචි රාළ )

 

සම්ප්‍රදායික ධීවර පන්න ක්‍රමයක්වූ මාදැල් රස්සාව මෑතක් වන තුරුම පැවත ආවේ මාදැල් හිමියාත් දැලේ කුදු මහත් කටයුතුවලට සහාය වූ ධීවරයනුත් අතර ගොඩනැගුණු ස්වභාවික සන්ධානයක් හරහාය.

මාදැලක් නඩත්තු කිරීමට විශාල වෙහෙසක් මෙන්ම සෑහෙන මුදලක්ද වැය කිරීමට සිදුවෙයි.

එය තනි ඒකකයක් නොව දැල මුහුදේ හෙළීමට භාවිතා කරන පාරුවද සම්බන්ධ පන්න ක්‍රමයකි. ඒ නිසා මාදැල් හිමියෙකු වීමට සමත් වූයේ ගමක කිහිප දෙනෙකුට පමණය.බොහෝ විට වෙනත් දේපළ මෙන් මාදැල්ද පාරම්පරිකව උරුම වන්නකි.

මාදැල් හිමියාද අත්දැකීම් සහිත ධීවරයෙකු වූ නිසා ඔහු මුදලාලි කෙනෙකු ලෙස සැළකුණේ නැත. ධීවරයන් අතර ඔහුට පිළිගැනීමක් තිබුණේ බොහෝ විට ඔහු වැල්ලේ මණ්ඩඩි රාළද වූ බැවිනි. මෙසේ වැඩි හැලහැප්පීමකින් තොරව ගළා ගිය මේ ජීවන ක්‍රමය මෑතක සිට ගැටලූ කිහිපයක් නිසා පිරිහීමට ලක්වන්නට විය.

 ප්‍රධාන හේතුව වූයේ ඊළඟට මාදැල භාර ගැනීමට සිටි පවුලේ උරුමක්කාරයන් අධ්‍යාපනය ලබා වෙනත් ජීවන මාර්ගයන් තෝරා ගැනීමය.

අනෙක් කරුණ නම් ක්‍රමයෙන් වයස්ගත වෙද්දි පාරම්පරික මාදැල් හිමියාට විශාල වැය බරක් මෙන්ම වෙහෙසක්ද දැරීම, දැරිය නොහැකි තරමේ පීඩාවක් වීමය.

එහි ප්‍රතිඵලය වූයේ ඔහු තම මාදැල් අයිතිය විකුණා දැමීමය. එය මිළට ගකු ලැබුවේ සමහර විට අලුතින් පොහොසත් වූ අයෙකු හෝ දේශපාලකයෙකි.

ඉන් පසු මාදැල් හිමියා සහ ඔහුගේ සහයට සිටි ධීවරයන් අතර වූ අනොන්‍ය සබඳතාවය බිඳ වැටී, නව මාදැල් හිමිකරු මුදලාලිගේ තත්ත්වයටත්, සහාය ධීවරයන් කුලීකරුවන්ගේ තත්ත්වයටත් පත්විය.

නව මාදැල් හිමියන් කළේ මත්ස්‍ය අස්වන්නේ ලාභයෙන් විශාල පංගුවක් තමන්ට තබා ගැනීමත්, සහායක ධීවරයන්ට සුළු කුලියක් ගෙවීමත්ය.

මේ ක්‍රමය දිගටම පවත්වාගෙන යාමට නොහැකි වූයේ කළකිරීමට පත් ධීවරයන් මාදැල් රස්සාව අතහැර යාම නිසාය.

මෙයට විසඳුමක් ලෙස නව මාදැල් හිමිකරුවෝ පාරුව වෙනුවට යාන්ත්‍රික බෝට්ටුවත්, දැල් අදින්නන් වෙනුවට ට්‍රැක්ටරයත් යොදාගෙන මාදැල් රස්සාව දිගටම කරගෙන ගියහ.

එහෙත් මේ යාන්ත්‍රික ක්‍රම භාවිතයෙන් මුහුදු පත්ළටත්, වෙරළටත් සිදුවන හානිය දුටු අනෙකුත් පන්නකරුවනුත් පරිසර වේදිනුත් තම විරෝධය පළ කරන්නට වූහ.

තවද සඳහන් කළ යුතු කරුණක් නම් පාරම්පරික මාදැල් ධීවර ක්‍රමය යාන්ත්‍රික කිරීම, පවතින නීතිවලටද පටහැනි වීමය.

මේ සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු අලුත් ගැළපෙන ක්‍රමවේදයක් හඳුන්වා දෙන තුරු බෝට්ටු හා ට්‍රැක්ටර් යොදාගෙන මාදැල් රස්සාව කිරීම තහනම් කර ඇත.

දැන් ජනපතිගේ කාර්යාලය ඉදිරිපිට මාදැල් හිමියන් සත්‍යග්‍රහ කරන්නේ පනවා ඇති තහනම ඉවත් කරන ලෙස බල කරමිනි.

සමහර මාධ්‍යය විසින් ඔවුන් ධීවරයන් ලෙස හඳුන්වා දෙතත්, ඔවුහු මාදැල් හිමියන් මිස මාදැල් අදින ධීවරයන් නොවේ. පොදුවේ ධීවරයන් මුහුණ දෙන ගැටලු වෙනම අධ්‍යයනය කළ යුතුව තිබේ.

ඒ අතරට චීන වරාය නගරය සෑදීම පිණිස මුහුදේ විශාල ප්‍රදේශයක් හාරා වැලි ඉවත් කිරීමත්, පර්ල් Xpress නම් නෞකාව කළ විනාශයත් විසින් ධීවරයන්ට කර ඇති හානිය අතිමහත් බව කිව යුතුය.

මාධ්‍යය තුළින් ජනතාවටත්, රජයටත් කියන කරුණු වලට වඩා තත්ත්වය සංකීර්ණය. නව මාදැල් හිමියන් සහායක ධීවරයන්ට ප්‍රමාණවත් ලාභ පංගුවක් ගෙවන්නේ නම් ප්‍රශ්නය ඉතා සරළය. මෙම මාදැල් හිමියන් සාධාරණ වන්නේ නම් දේශපාලකයන්ට සත්‍යග්‍රහ කරුවන් සමඟ වාඩිවී වැළපෙන්නට සිදුවන්නේ නැත.සංඛ්‍යාවෙන් වැඩි  සුළුපන්න ධීවරයන් සහ කුලී ධීවරයන් සමඟද දේශපාලකයා වාඩිවන්නේ නම් ඔවුන්ටත් හොඳය.

 (මෙම ලිපියට පාදක වන්නේ බස්නාහිර වෙරළ තීරයේ අත්දැකීම්ය).

ෂෙල්ටන් පිරිස් ගේ ලිපියකි

ආරංචි රාළ  - 2026.02.11 - 161 වන දිගහැරුම

 

Comments

Popular posts from this blog