ඉරාන - ඊශ්‍රායල යුද්ධය

නිදාගෙන සිටි සිංහයෙකු අවදිකර ඊශ්‍රායලය ඉතිහාසයේ අතිදැවැන්ත යුධ පරාජයක් අත් කරගත්තාද ?

ඉරානය විසින් න්‍යෂ්ඨක අවියක් නිෂ්පාදනය කරන බවත් එය නතර කිරීමට නම් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර කර ඒ පිටුපස සිටින විද්‍යාඥයින් විනාශ කළ යුතුයැයි  ඇමරිකාව සහ ඊශ්‍රායලය තීරණය කර තිබුණි. ආරංචි රාළට එතකොට මතක් උනේ අපේ පැරණි  "හක්කේ බුදු රැස් බොක්කෙ දඩ මස්" කියමනයි.  තමන් සතුව න්‍යෂ්ටික අවි තබාගෙන  වෙනත් රටක් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකළ යුතු යැයි කියන්නට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්දැයි ආරංචි රාළට නම් වැටහෙන්නේ නැත.
 

හමාස් සංවිධානය විනාශ කිරීමටයි කියමින් පලස්තීනයේ  ගාසා තීරයට එල්ල කරන ලද අමානුෂික ප්‍රහාර වලට විරුද්ධව කිසිවක් කතා නොකර ලෝකයේ ඊනියා බලවතුන් යැයි කියාගන්නා රටවල් ඇස් කන් පියාගෙන නිහඬව ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් කරන සමූල ඝාතනය දෙස ඔහේ බලාගෙන සිටින මොහොතක කලාපයේ චන්ඩියා ලෙස ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළේය.

ඉරානය විවිධ මුස්ලිම් සටන්කාමී කණ්ඩායම් වලට සහාය දක්වන්නේයැයි බලවතුන් චෝදනා කරති. එහෙත්  ඉරානය රටක් ලෙස කිසිවිටක තවත් රටකට විරුද්ධව යුධ මෙහෙයුම් සිදු කර නැත.

තම රටේ සුවිශේෂි ස්ථාන ඉලක්ක කර දරුණු ගුවන් ප්‍රහාර එල්ලකරමින් ඒකපාර්ශික යුද්ධයක්  ආරම්භ කළ ඊශ්‍රායල් චණ්ඩියාට  සිතා ගන්නවත් නොහැකි වේගයෙන් ඉරානය ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර  එල්ල කරන්නට විය. තම යුධ ශක්තිය සහ ගුවන්පත ආරක්ෂාව පිලිබදව අධිතක්සේරුවක සිටි ඊශ්‍රායලයට සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නවත් බැරි තරමට ඉරානයේ ප්‍රහාර ප්‍රබල විය.

ඊශ්‍රායලයට හිතවත් ඇමරිකානු සහ යුරෝපීය මාධ්‍ය වාර්තා කෙරුවේ ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරානයට දරුණු අලාභානි සිදුවූ බවය. ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර නිසා ඊශ්‍රායලයට සිදු වූ විනාශය ගැන ඔවුහු එතරම් කතා කළේ නැත.

තමන්ගේ යුදමය ශක්තිය, තාක්ෂණය සහ ඇමරිකාවෙන් සැමවිට ලැබෙන සහාය නිසා වෙනත් කිසිදු රටකට තමන්ට  පහර දීමට නොහැකි යැයි සිතූ ඊශ්‍රායලය ඉතිහාසයේ අතිදැවැන්ත යුධ පරාජයක් අත් කරගත්තේය. ආරංචි රාළ හන්දියේ භාෂාවෙන් කියනවා නම්; " ඊශ්‍රායලය ඉල්ලා ගෙන කෑවේය."

වසර ගණනාවක් තිස්සේ පලස්තීනය, සහ එහි අසල්වැසි රටවල ජනතාවට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් එම රටවල් වල ජනතාව අනාථයින් බවට පත් කළ ඊශ්‍රායලයට අවසානයේ තමන්ගේ ජනතාව රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.ඊශ්‍රායල් ජනතාව සිස්ලු අත දුවන්නටවූ අතර සමහරුන් බංකර් ඇතුලේ හිරවූ අතර තවත් සමහරෙක් රට හැර යන්නට විය.

බටහිර සහ ඇමරිකානු හිතවත් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරන්නේ ඉරානයේ ප්‍රහාර එල්ල වූයේ සාමාන්‍ය ජනතාව ජීවත්වන ගොඩනැගිලි සහ ප්‍රදේශවලට බවය. එහෙත් ඊශ්‍රායලයට යුදමය වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථාන විශාල ප්‍රමාණයක්  මෙන්ම ආර්ථික මරුම ස්ථාන  බොහොමයකට  සිදුවූ විනාශය ගැන මේ ඊනියා  මාධ්‍ය වචනයක් හෝ කියන්නේ නැත.

ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ගුවන් හමුදාව විසින් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ස්ථාන තුනකට බෝම්බ හෙලමින් ඉරානයට  න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කළ හැකි න්‍යෂ්ටික වැඩ පිළිවෙල විනාශ කර දැමූ බවට කයිවාරු කිව්වත් මේ වන විට ඇමරිකාවේම නිදහස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ඇමරිකානු  ගුවන් ප්‍රහාර වලින් එය එසේ නොවුණු බවය.

මීට පෙර මෙම යුද්ධය පිළිබඳ සටහනක් ලියූ ආරංචි රාළ පැවසුවේ, යුද්ධයෙන් කවුරු  දිනන්නේ දැයි ආරංචි රාළට කිව නොහැකි බවය. එහෙත් අවි ගත්තෝ  අවියෙන්ම නැසෙන බව නම් ආරංචි රාළ සහතික කර කීවේය.

මේ කතාව, මුලින්ම පැවසුවේ ජේසුස් වහන්සේ,  තමන්ව අල්ලා ගැනීමට පැමිණි මැරවරයෙකුට කඩු පාර එල්ල කළ  ජේසුගේ ඉතාමත් කිට්ටු ශ්‍රාවකයෙකු වූ සිමියොන් පේදුරුටය. "පේදුරු නුබේ කඩුව කොපුවේ දමා ගන්න, කඩු ගත්තෝ,කඩුවෙන්ම නැසෙති" සිමියොන් පේදුරු ද  ජුදා ජාතිකයෙකි.වාසනාවකට ඔහු සියොන්වාදියකු  නොවේ.

ආරංචි රාළට අදත් කියන්නට ඇත්තේ මෙපමණය: "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති."

ආරංචි රාළ; 2025.06.28. 120 වන දිගහැරුම

 

 

Comments

Popular posts from this blog