තරුණ ක්‍රිස්තියානි සංගමය
Young Men’s Christians Association - YMCA
181 වන උපන්දිනය සමරණ ලෝකයේ පැරණිතම තරුණ සංවිධානය
අද ජූනි 06 වෙනිදා.
තරුණ කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන සැමට අතිශයින්ම වැදගත් ඓතිහාසික සිදුවීමක් සිදු වු දිනයක් තමයි ජූනි 06.
අදට වසර එකසිය අසූ එකකට පෙර 1844 ජූනි 06 වෙනිදා එවකට එංගලන්තයේ සිදු වූ කාර්මික විප්ලවයත් සමඟ ලන්ඩන් නුවරට ටේලර් වරයෙකු ලෙස රැකියාව කිරීමට ලන්ඩන් නුවරට සංක්‍රමණය වී සිටි ජෝර්ජ් විලියම්ස් නම් තරුණයා විසින් තවත් 11 දෙනෙකු එකතු කරගෙන ලන්ඩන් නුවර කුඩා කාමරයක් ඇතුලේ තරුණ ක්‍රිස්තියානි සංගමය (YMCA ) නම් වූ තරුණ සංවිධානය බිහි කළේ අද වැනි දිනකය.
ඔවුන් සියලු දෙනාම ක්‍රිස්තියානි ආගමට අයත් වූ තරුණයන් වූ අතර මෙවන් සංවිධානයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ අධ්‍යාත්මික, මානසික සහ ශාරීරික යොමුව ලබා ගැනීම සඳහා බයිබලය අධ්‍යයනය කළ බව ඉතිහාසය සඳහන් කරයි.
කෙසේ වුවද ආරංචි රාළට වඩා වැදගත් වන්නේ, ජෝර්ජ් විලියම් තරුණයාට මෙවැනි තරුණ සංවිධානයක් බිහිකිරීමට තිබූ අවශ්‍යතාවය කුමක්ද යන්නයි.
කාර්මික විප්ලවය සමඟ එංගලන්තයේ ගම්බද ප්‍රදේශවල ජීවත් වූ අති විශාල තරුණ තරුණියන් කණ්ඩායමක් විවිධ රැකියා සඳහා ලන්ඩන් නුවරට සේන්දුවී සිටියහ. ඒ සමගම ලන්ඩන් නුවර පුරා නේවාසිකාගාර ඉදි වූ අතර ඊට සමගාමීව තවත් බොහෝ දේවල් ඇතිවන්නට විය. ඒ අතර සමාජ ශාලා සහ මත්පැන් හල් විශේෂිත විය.
තමන්ගේ රැකියාවන් වල නිරතවීමෙන් පසුව හවස් යාමයේ නේවාසිකාගාරවලට පැමිණෙන බොහෝ තරුණ තරුණියන්ට කරන්නට විශේෂ කාරියක් නොතිබු බැවින් ඔහු මෙම සමාජ ශාලාවල සහ මත්පැන්වල සිදුවූ බොහෝ ක්‍රියාකාරකම්වලට ගොදුරු වන්නට විය. මේ සමග ලන්ඩන් නුවර විශාල ලෙස සමාජ විරෝධී ක්‍රියා ඇතිවූ අතර තරුණ තරුණියන් මෙම දුුසිරිත් ක්‍රියාවන් වලින් ගලවා ගැනීමට නම් විකල්ප ක්‍රියාකාරකම් තිබිය යුතු බව ජෝර්ජ් විලියම්ස් වටහා ගත්තේය. ඔවුන්ට ඒකරාශී වීමට හැකි ආකාරයට කුඩා සංවිධානයක් බිහිකර ගත් අතර ඔවුන් එයට තරුණ ක්‍රිස්තියානි සංගමය (Young Men’s Christians Association - YMCA ) යන නම තැබීය.
මුල් අවධියේදී ඔවුන් බයිබලය කියවා එය අධ්‍යයනය කිරීමටත් ඉන් අනතුරුව කුඩා ගෘහස්ථ ක්‍රීඩාවල යෙදීමටත් පටන් ගත්හ. කුඩා කාමරයක් ඇතුළත බිත්තියට යකඩ වළල්ලක් සවිකර එයට පන්දුව විසි කිරීමෙන් ආරම්භ වූ ක්‍රීඩාව මේ වන විට බාස්කට් බෝල් නමින් ලොව පුරා ප්‍රචලිත වී ඇත.
එසේම කුඩා ශාලාවක් ඇතුළත කණ්ඩායම් දෙකකට බෙදී පන්දුව, බිමට පතිත වීමට ඉඩ නොදී එහා මෙහා හුවමාරු කර ගැනීම අද වන විට වොලිබෝල් ක්‍රීඩාව ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත.මේ අනුව ලෝකයට බාස්කට් බෝල් සහ වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ තරුණ ක්‍රිස්තියානි සංගමය ටයි.
තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආරම්භය, එහි විකාශනය, පැවැත්ම සහ වර්තමාන තත්ත්වය ගැන ලියන්නට පටන් ගන්නේ නම් එය අවසාන කළ නොහැකි පොතක් බවට පත්වනු ඇත.
කෙසේ වෙතත් බයිබල් අධ්‍යයනයෙන් අධ්‍යාත්මික සංවර්ධනයට මූලිකත්වය දෙමින් ආරම්භ වූ තරුණ ක්‍රිස්තියානි සංගමය කාලයාගේ ඇවෑමෙන් ලෝකය පුරා ව්‍යාප්ත වූ අතර එදා ජෝර්ජ් විලියම් සමාජයේ පවතින ගැටුම්කාරී තත්ත්වයකට විසඳුමක් ලෙස ආරම්භ වී ක්‍රියාත්මක වූ තරුණ ක්‍රිස්තියානි සංගමය ලෝකයේ විවිධ රටවල්වල පවතින යථාර්ථයන්ට මුහුණ දෙන සංවිධානයක් ලෙස ව්‍යාප්ත වන්නට විය.
විශේෂයෙන්ම ළමා සහ තරුණ කටයුතු සඳහා විශේෂී දායකත්වයක් ලබා දෙන තරුණ ක්‍රිස්තියානි සංගමය, යුද්ධය සහ අරගල පවතින අවස්ථාවලදී ඒවායෙන් විපතට පත්වෙන ජනතාවට සේවය සැලසීම සඳහා ද යොමුව සිටි. එපමණක් නොව යුද්ධය සහ ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවීම පිළිබඳව ගැඹුරු සංවාද ආරම්භ කරන තරුණ ක්‍රිස්තියානි සංගමය ලෝකයේ බොහෝ රටවල සාම ක්‍රියාදාමය සඳහා අති විශේෂ දායකත්වයක් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිස්තියානි සංගමය 1983 පටන් සාමය ගොඩනැගීම සඳහා විශේෂ අංශයක් තමන්ගේ ආයතනය තුළ ස්ථාපිත කර අතර ඒ ඔස්සේ බොහෝ ක්‍රියාකාරකම්වල නිරත වන්නට විය.
මේ වන විට ලෝකය පුරා රටවල් 120 ක තරුණ ක්‍රිස්තියානි සංගමය ක්‍රියාත්මක වන අතර, විවිධ මහද්වීප අතර සන්ධාන ලෙසද ලෝක සන්ධානය ලෙස ලෝකය පුරා ඇති තරුණ ක්‍රිස්තියානි සංගම්වල කටයුතු වලට සහයෝගය ලබාදෙමින් ඒවා අතර සම්බන්ධීකරණය කරයි. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ලෝක සන්ධානය ජිනීවා නුවර පිහිටුවා ඇති අතර එහි ආසියානු/පැසිපික් සන්ධානය මේ වන විට කොරියාවේ පිහිටා ඇත.
තරුණ තරුණියන් අතර හුවමාරු වැඩසටහන් දියත් කරමින් ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා මහඟු මෙහෙවරක් තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් සිදු කරන බව කිව යුතුය.
ශ්‍රී ලංකාවේ, ක්‍රීඩාවේ උන්නතිය සඳහා විවිධ ක්ෂේත්‍ර ක්‍රීඩා ක්ෂේත්‍ර ඔස්සේ තරුණ ක්‍රිස්තියානි සංගමය ලබා දී ඇති දායකත්වය අතිවිශාලය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ගුරුවරුන් 400 එකට ආසන්න සංඛ්‍යාවක් එකවර පුහුණු කිරීමේ ගෞරවය හිමි වන්නේ තරුණ ක්‍රිස්තියානි සංගමයටයි. ඒ 1972 දී වැලිමඩ තරුණ ක්‍රිස්තියානි සංගම් කඳවුරු සහ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ එවකට අගමැතිනිය වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම තරුණ ක්‍රිස්තියානි සංගමය වන්නේ 1888 ජුනි මාසයේ ආරම්භවූ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයයි( Colombo YMCA) පසුකාලයේදී සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි මේ වන විට යාපනය,මඩකලපුව, ගාල්ල, මාතර, මහනුවර, ත්‍රිකුණාමල,වවුනියාව, මන්නාරම, මිගමුව සහ පමුණුගම ප්‍රාදේශීය තරුණ ක්‍රිස්තියානි සංගම් 38 ක්‍රියාත්මක වන අතර ඒවා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වන තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව කොළඹ 03, ශාන්ත මයිකල් පාරේ පිහිටා ඇති අතර මේ වන විට එහි සභාපතිත්වය රිචඩ් ජෑන්ස් මහතා විසින් හොබවන අතර ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ නිරංග ප්‍රනාන්දු මහතාය.
ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳව කිසියම් වූ ආයතනයක් කටයුතු කරන්නේ නම් ඒ සඳහා හොඳම ආදර්ශය ලබා ගත යුත්තේ තරුණ ක්‍රිස්තියානි සංගමයෙන් බව ආරංචි රාළගේ අදහසයි.
අද දින ලෝකය පුරා එක්ව සමරන තරුණ ක්‍රිස්තියානි සංගමයේ නිර්මාතෘ දිනයට ආරංචි රාළ මෙසේ සුභ පැතුම් එක්කරයි.
ආරංචි රාළ : 2025.06.06: 112 වන දිගහැරුම
This comment has been removed by a blog administrator.
ReplyDeleteඅතීතය අමතක නොකරන්න. එහෙත් එය යළි යළිත් මතක් නොකරන්න. මන්ද එවිට ඇති වෙන්නේ වෛරය පමණි.
ReplyDeleteසංහිඳියාව කරා අප යන ගමනේදී, වෛරය ජනිත වන කිසිවක් මතක් නොකරන්න.
දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නායක ආචාර්ය නෙල්සන් මැන්ඩෙලා පැවසූ වදන් කීපයකි.