බහිරවයන්ගෙන් රේගුව  ගලවා ගන්නේ නම් ආණ්ඩුවට අවශ්‍ය ආදායම ගලාගෙන එන්නේ කලා වැවේ සොරොව්ව විවෘත කළ විට ජලය ගලා එන්නා සේය.

ජාත්‍යන්තර රේගු  දින සැමරුමේදී රේගු අධ්‍යක්ෂක ජෙනරාල් සහ ජනපති අනුර දිසානායක
ආරංචි රාළ කාටවත් චරිත සහතික ලියන්නේ නැත.  ඒත් වර්තමාන රේගු දෙපාර්තුමේන්තුවේ ඉහළ කළමනාකරණය මේ රටේ ආණ්ඩුවේ සහ ජනතාවගේ අපේක්ෂාවන්ට සාධාරණත්වයක් ඉටු කිරීමට ලොකු වෙහෙසක් දරන බව නං ඉතා පැහැදිලියි.

රාජ්‍ය අදායමේ සුවිශේෂී වූ පංගුවකට දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා රේගුවයි. මේ අනුව ශ්‍රී ලංකා රේගුවට ආණ්ඩුව ලබා දී ඇති අති විශාල ආදායම් ඉලක්කය වෙත ලගාවීමට රේගුවේ ඉහළ කළමනාකරණය  ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් දියත් කර ඇති බව කිව හැක.

පසුගියදා පැවති ජාත්‍යන්තර රේගු දිනය සැමරීමේදී රේගූ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා මේගැන සදහන් කල අතර ජනාධිපතිවරයාද ඒගැන පැසසුම් සහගතව කතා කළේය. කෙසේ වෙතත් මේවනවිට රේගුව තුල සිරවී ඇති බහලුම් ඉක්මනින් ඉවතිකිරීමට වැඩපිළිවෙලක් රේගුව සකස් කළ යුතුබද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බංකොලොත් වූ රටක් නැවත ගොඩනැගීමේදී රාජ්‍යය ආදායම කිසියම් ස්ථාවර මට්ටමකට පවත්වා ගැනීම සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කිසිදු දෙගිඩියාවකින් තොරව අනුගමනය කළ යුතුව ඇත. මේ අනුව ශ්‍රී ලංකා රේගුවට ආණ්ඩුව ලබා දී ඇති අති විශාල ආදායම් ඉලක්කය වෙත ලගාවීම  රේගුවේ ජාතික වගකීමකි.

රේගුව පිළිබඳව මෙරටේ ජනතාව තුළ ඇත්තේ එතරම් සුබවාදී ආකල්පයක් නම් නොවේ. එය වෙනමම කතා කළ යුතු මාතෘකාවකි.මේ වන විට කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් වත්මන් රේගුවේ ඉහළ කළමනාකරණයට එරෙහිව කඩාකප්පල් කාරී වැඩ පිළිවෙලක් දියත් කරමින් සිටින බව පැහැදිලියි. මේ පිලිබදව ජනතාව අවදියෙන් සිටිය යුතුව ඇත.

රේගුව ආදායම්  උත්පාදන කරන්නේ  ආනයනය සහ අපනයනය  වෙනුවෙන් තීරු බදු අය කර ගැනීමෙනි.මෙම තීරු බදු අය කර ගැනීමේ දී සිදු වී ඇති අති විශාල මුදල් වංචා පිළිබඳව ඉතිහාසය අපට බොහෝ දේ කියා දෙයි.තීරු බදු නිසි පරිදි අයකර ගන්නේ නම් ආණ්ඩුව අපේක්ෂා කරන රාජ්‍ය ආදායම ලබා ගැනීම එතරම් අපහසු වන්නේ නැත.

එහෙත්  මෙතෙක් කාලයක් අපේක්ෂිත ආදායම රේගුව හරහා ආණ්ඩුවට ලබා ගැනීමට නොහැකි වූයේ ඇයි ?

ආණ්ඩුවට නොලැබුණත් එම ආදායම් වෙනත් කණ්ඩායම් වලට හෝ පුද්ගලයන්ගේ අතට ගිය බව නම් ආරංචි රාළ හොඳින් දනී.

 වසර ගණනාවක් තිස්සේ රේගුව තුළ ක්‍රියාත්මක වන අතිශයින්ම භයංකර මාෆියා කල්ලි විසින් රේගුවේ සමහර අංශ තමන්ගේ පාලනය යටතට ගෙන තිබුණු බවත් ඒ සඳහා ඔවුන්ට දේශපාලනයන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබුණු බවත් නොරහසකි.  මේ නිසාම ආණ්ඩුවට බදු වශයෙන් ලැබිය යුතු මුදල් එම ප්‍රමාණයෙන්ම නොවුනත් කිසියම් සැලකිය යුතු ප්‍රමාණයකින් මේ මාෆියා කල්ලි සහ පුද්ගලයන් අත්පත් කරගත්හ .

ආරංචි රාළට ලැබෙන ආරංචි වලට අනුව ඒ සඳහා නිර්භීත තීරණ සහ ක්‍රියාමාර්ග වත්මන් රේගු පරිපාලනය සහ කළමනාකරණය විසින් ගෙන ඇති අතර මේ නිසා මේ ඊනියා මාෆියා කණ්ඩායම් සහ පුද්ගලයින් දැඩි සේ කෝපයට සහ කලබලයට පත්ව ඇත.

බහිරවයන්සේ රේගුව අරක්ගත් මෙම කණ්ඩායම් සහ පුද්ගලයින්ගෙන් රේගුව බේරාගන්නේ නම් ආණ්ඩුවට අවශ්‍ය ආදායම ගලාගෙන එන්නේ කලා වැවේ සොරොව්ව විවෘත කළ විට ජලය ගලා එන්නා සේය.

ජඩ මාධ්‍ය කණ්ඩායම් කීපයක් සහ ආණ්ඩුවේ කඩා වැටීම ඉක්මනින් අපේක්ෂා කරන බංකොලොත් දේශපාලන පක්ෂවල සාමාජික සාමාජිකාවන් පිරිසක් ඊයේ පෙරේදා රේගුව විසින් කිසිදු විමසිල්ලකින් තොරව භාණ්ඩ බහාලුම් 327 ක් නිකුත් කළ බව ට පට්ටපල් බොරුවක් සමාජගත කළේය. මේ පිළිබඳව අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ පුවත්පත් නිවේදනයක් නිකුත් කර සිදුවූයේ කුමක්දැයි පැහැදිලි කර ඇත.

මේ පැහැදිලි කිරීමට එරෙහිව මේ මඩ ප්‍රචාර කරන්නෝ තවම ප්‍රතිචාර දක්වා නැත.

වරාය හරහා මෙරට ගෙන එනු ලබන භාණ්ඩ වලට අදාල තීරු බදු සහ වෙනත් අය කිරීම් කිරීමේදී එම බහාලුම් නිසි පරිදි විමර්ශනයට ලක් කළ යුතුව ඇත.ඉහළ කළමනාකරණය කෙබඳු ආකාරයක තීරණ ගත්තත් මෙම තීරණ ක්‍රියාත්මක කරන අයගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත එම කටයුතු  පමා කළ හැක.  පසුගිය දිනවල බහාලුම් දහස් ගාණක් රේගුවේ සිරවුණේ ඒ නිසාය.

 පසුගිය ආණ්ඩු කාලයේ මෙරට බොහෝ දේ පැමිණි ආකාරය ගැන ආරංචි රාළට හොඳ අවබෝධයක් ඇත. ආණ්ඩුවට ලැබිය යුතු කෝටි ප්‍රකෝටි ගණන් බදු අහිමි වූයේ කෙසේදැයි කියාද ආරංචි රාළ දනියි.

පුනරුදයකට යන ගමනේදී මේ සියල්ල වෙනස් විය යුතුය.

ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල නිසි පරිදි  සකස් කර ඇති අතර එය දැන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒනිසා බොහෝ දේ අහිමි වන බහිරවයන්ව සිටින වංචනිකයෙන් දැන් අදෝනා තියන්නට පටන් ගෙන ඇත.

 

ආරංචි රාළ # සංස්කාරක :  අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 

 

 

Comments

Popular posts from this blog