ජනතා නියෝජිතයින්ගේ විශ්‍රාම වැටුප අහෝසියි?
වසර පහක් කුමක් වූ හේතුවක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වූ කෙනෙක් එම මන්ත්‍රීධූරය අවසන්වූ පසුව විශ්‍රාම වැටුපකට හිමිකම් කීම කෙසේ නම් සාධාරණීයකරණය කරන්නදැයි ආරංචි රාළට තේරෙන්නේ නැත.
![]() |
ආරංචි රාළට මතක තියෙන හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වාදීම සිද්ධ වුණේ 1977 බලයට පත් ව පසුව 1978 දී විධායක ජනාධිපති ව්‍යවස්ථාව හඳුන්වා දුන් ජේ ආර්. ජයවර්ධන මහතාය.
ඒ කාලෙයේ බොහෝ දෙනෙක් දේශපාලනය කළේ අවංකවම ජනතාවට සේවය කිරීමේ අභිලාෂයනි. තමන්ගේ සියළුම දෙපළ දේශපාලනය වෙනුවෙන් කැප කළ පරාර්ථකාමී දේශපාලකයෝ කීපදෙනෙක්ම මේ රටේ සිටියහ. ඒ අතර අතිශයින්ම ජනප්‍රිය චරිත මෙන්ම සාමාන්‍ය ජනතාව වැඩිහරියක් නොදන්නා චරිත බොහෝය.
පාර්ලිමේන්තුවට තේරීමේදී මනාප ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම නිසා ආසන මට්ටමින් නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවට දිස්ත්‍රික්ක මට්ටමෙන් මනාප ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතු වූ නිසා ඉන් අනතුරුව දේශපාලනයට සම්බන්ධ වුණේ ඡන්දයට වියදම් කරන්න මුදල් ඇති පුද්ගලයෝ හෝ ධනවතුන්ගෙන් හෝ ව්‍යාපාරිකයන්ගෙන් තමන්ගේ චන්දෙට මුදල් වියදම් කරන්නට මුදල් හොයා ගත හැකි පුද්ගලයින්ය.
පසුගිය දසක ගණනාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ නියෝජිතයන් සහ ඔවුන්ගේ හැසිරීම් ගැන ආරංචි රාළට හොඳ අවබෝධයක් ඇත.
ස්වෙච්ඡා සේවයක් විය යුතු දේශපාලනය වැටුප් සහ වරප්‍රසාද ලබන රැකියාවක් බවට පත්වීම නිසා බලයේ රැඳීමට ඕනෑම ජරා වැඩක් කිරීමට මේ අය සූදානම්ව සිටියහ.
එපමණක් නොව තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වූ පසුවද වසර පහක් පාර්ලිමේන්තුවේ සිට ඇත්නම් තමාට විශ්‍රාම වැටුපක් ලැබෙන බව දන්නා දේශපාලකයෝ ඉතාමත් තීරණාත්මක අවස්ථාවලදී පවා වසර පහක් පාර්ලිමේන්තුවේ රැඳී සිටීම සඳහා වංචනික සහ දූෂිත පාලකයින්ගේ අවශ්‍යතාවය මත නිහඬව සිටි බව අප දුටුවෙමු.
හමුදා සේවය සහ වෙනත් අත්‍යවශ්‍ය සේවාවල නිරත වන රාජ්‍ය සේවකයන් හැර සාමාන්‍යයෙන් වසර 20 - 30 අතර කාලයක් පුද්ගලයෙක් රාජ්‍ය සේවයේ නිරතව සිට වයස අවු; 60 වන විට විශ්‍රාම ගත යුතුව ඇත.
ඉන් අනතුරුව ඔහුට හෝ ඇයට තමාගේ ජීවිත කාලය අවසාන වන තුරු තමා ලබාගත් වැටුපෙන් නිශ්චිත ප්‍රතිශතයක් විශ්‍රාම වැටුපක් ලෙස මාසිකව ලබාගත හැක.
මේ වන විට එවැනි විශ්‍රාම වැටුප් වලට හිමිකම් කියන ලක්ෂ සංඛ්‍යාත ජේෂ්ඨ පුරවැසියන් පිරිසක් අපේ රටේ ඇත. එසේම හුදු වසර පහක් කුමක් වූ හේතුවක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වූ කෙනෙක් එම මන්ත්‍රී ධූරය අවසන්වූ පසුව විශ්‍රාම වැටුපකට හිමිකම් කීම කෙසේ නම් සාධාරණීයකරණය කරන්නදැයි ආරංචි රාළට තේරෙන්නේ නැත.
වසර ගණනාවක් රටට සේවය කළ දේශපාලකයකු ඔහු හෝ ඇය විශ්‍රාම ගිය විට බලා ගැනීම රජයේ වගකීමකි. එහෙත් එයට සීමාවක් තිබිය යුතුය.
පසුගිය කාලය තුළ මේ රටේ සමහර දේශපාලකයෝ තමන් දැරූ ජනාධිපති තනතුර, ඇමති සහ මන්ත්‍රී තනතුරු සියල්ල සඳහා විශ්‍රාම වැටුප් ලබාගත් හ.
ජනාධිපතිවරයාගේ සිට මන්ත්‍රීවරුන් දක්වා සියලු දෙනාගේ විශ්‍රාම වැටුප සහ ඔවුන්ට ලබා දෙන අනවශ්‍ය වරප්‍රසාද නතර කරන බව ජාතික ජන බලවේග ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවකි.
සැබවින්ම එය කළ යුතුව ඇත. මේ සඳහා අවශ්‍ය නම් අලුත් නීති රීති ගෙන ඒමට වුවද තමන් සූදානම් බව ජනපති අනුර දිසානායක සහෝදරයා ඊයේ කළුතර දී පැවැත්වූ රැස්වීමේදී ප්‍රකාශ කිරීම ආරංචි රාළ ඉතා ඉහළින් අගය කරයි
ආරංචි රාළ
Comments
Post a Comment