කටුකුරුන්දේ 'සටන'
ආසියාවේ බලවතා වන චීනයේ සංචාරය නිමවා පැමිණියා පමණය.ඒ නිසා මෙම කතාව රූපවාහිනිය/ගුවන් විදුලිය මගින් ජාතිය අමතා කළ යුතු කතාවක් බවට පත්කර ගත යුතුව තිබුණේය.
අපට අවශ්‍ය වන්නේ ෆිදෙල්, මැන්ඩෙලා වැනි අවසානය දක්වාම ජනතාව මෙහෙය විය හැකි නායකයෙකි.
මේ රටත්, ජනතාවත් සංස්කෘතිමය, දේශපාලනමය සහ සමාජමය වශයෙන් සුද්ද පවිත්‍ර කළ යුතු බව විශ්වාස කළ එමෙන්ම ඒ සඳහා පියවර තැබූ ප්‍රථම රාජ්‍ය නායකයා නව ජනාධිපතිතුමා බව පවසන්නට ආරංචි රාළ කිසිවිටක පසුබට වන්නේ නැත.
මේ අතර ඊයේ පෙරේදා කටුකුරුන්දේදී ඔහු කළ ප්‍රකාශය තමන් විසින්ම ගොඩනගා ගනිමින් සිටි ප්‍රතිරූපයට එල්ල කරවාගත් පහරක් බවයි ආරංචි රාළ හිතෙන්නේ.
එය එළිමහනක ජනතාව රැස්කරවා පවත්වන ලද දේශපාලන රැස්වීමක ස්වරූපය ගත්තේය.
එහෙත් එය එසේ නොකළ යුතුව තිබිණි. ඔහුට ජනතාවට හෙළි කිරීමට බොහෝ කරුණු තිබුණු බව සැබෑය. ඇරත් ඔහු ආසියාවේ බලවතා වන චීනයේ සංචාරය නිමවා පැමිණියා පමණය.ඒ නිසා මෙම කතාව රූපවාහිනිය/ගුවන් විදුලිය මගින් ජාතිය අමතා කළ යුතු කතාවක් බවට පත්කර ගත යුතුව තිබුණේය.
එය දේශපාලන රැළියකු පවත්වන කතාවක ස්වරූපය ගැනීමෙන් විචක්ෂණශීලී සහ සංයමශීලී ජන නායකයකු ලෙස දිනා ගනිමින් තිබූ චරිතාංග වලට සුළු හෝ පලුද්දක් ඔහු ඇති කරගත්තේය. ඒ ගැන ආරංචි රාළට ඇත්තේ සියුම් වේදනාවකි.
දූෂිතයන් අත්අඩංගුවට ගන්නේ, අධිකරණය ඉදිරියට පමුණුවන්නේ සහ
දඩුවම් දෙන්නේ ජනාධිපතිවරයා නොවේ. එහෙත් ඉවසීමේ සීමාව ඉක්මවා යාම නිසාදෝ කටුකුරුන්දේදී, තමාට එබඳු දේත් කළ හැකි බවට ඉඟියක් ජනාධිපතිවරයාගෙන් පළවිය.
සිරස සටන වැඩසටහන තුළින් ඔහු යළි තම සංයමය හා විචක්ෂණශීත්වය පළ කළ බව සැබෑය.
එහෙත් වත්මන් දේශපාලන හැසිරීම් දෙස බලන විට ජනපතිවරයාගෙන් සිදුවන සුළු හෝ වරදක් ජනතාවගේ අභිලාෂයන් කෙරෙහි බරපතල බලපෑම් ඇති කරනු ඇත.
රටට අවශ්‍ය වන්නේ ට්‍රම්ප් වැනි කයිවාරුකාරයෙක්වත්, ඉඩි අමීන් වැනි මිනිමරුවෙක්වත්, මාකොස්, පිනෝෂේ වැනි ඒකාධිපතියෙක්වත් නොවේ.
අවශ්‍ය වන්නේ තමන් ගැනමත් සුපරික්ෂාකාරීව සිටින ජනතා නායකයෙකි.
තම රටවල ජනතාවට ශ්‍රේෂ්ඨ නායකත්වයන් සැපයූ ඒබ්‍රහම් ලින්කන්, කෙනඩි, මාර්ටින් ලූතර් කිං, ලුමුම්බා, අයන්ඩේ වැනි නායකයන් විනාශ වූයේ සමහර විට සමහර තැන්වලදී අපේක්ෂාකාරී වීම නිසාය. අපට අවශ්‍ය වන්නේ ෆිදෙල්, මැන්ඩෙලා වැනි අවසානය දක්වාම ජනතාව මෙහෙය විය හැකි නායකයෙකි.
එවැනි ගති ලක්ෂණ පළ කරමින් සිටින අනුර කුමාර මඳක් හෝ ඒ මගින් බැහැරවීම ජනතාවට වේදනාත්මක අත්දැකීමක් විය හැකි බවයි ආරංචි රාළ හිතන්නේ.
ඒ නිසා තම සිසු අවදියේ සිට පළ කළ සංයමය හා විචක්ෂණශීලී බව දිගටම ආරක්ෂා කර ගනිමින් රට මෙහෙයවීම ජනපතිවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වෙති.
මන්ද තවදුරටත් ලාංකිකයන්ට අත්හදා බැලීම් කරමින් සිටීමට කාලයක් නැත.
ආරංචි රාළ
ආරංචි රාළට සහයවන ෂෙල්ටන් පීරිස් ට තුති.
Comments
Post a Comment