පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අවුරුදු 5 යි මාස 9 යි!

 බය වෙන්න එපා, පාස්කු ප්‍රහාරයේ  විමර්ශන තිතට කෙරීගෙන යනවා!  ජනපති කියයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන බල ව්‍යුහය උඩු යටිකුරු කළ සිදුවීමක් ලෙස 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරුදින මීගමුව  කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙවස්ථානය, කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය,  මඩකලපුව සියොන් දේවස්ථානය සහ කොළඹ ප්‍රධාන හෝටල් කීපයක් ඉලක්ක කරගෙන එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සැලකිය හැකිය.

  

මෙම ප්‍රහාරය සිදුකරන ලද්දේ මුස්ලිම් අන්තවාදී කල්ලියක් විසින් වුවද ඔවුන් පිටුපස රාජ්‍යතන්ත්‍රයට මෙන්ම දේශපාලන පක්ෂයකට සැඟව සිටි කණ්ඩායමක් සිටින බවට ප්‍රහාරයෙන් දින කීපයක් තුළදී බොහෝ දෙනකු අවබෝධ කරගත්හ.

ප්‍රහාරයේ වගකීම කිසිවෙකු බාර නොගත් අතර එසේනම් මෙම අන්තවාදී ආගමික කණ්ඩායම එය කාගේ උවමනාවකට  කෙරුවේද  යන සැකය වතුරේ සැඟවීමට උත්සාහ කරන රබර් බෝලයක් සේ උඩට මතුවන්නට විය.

ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්දැයි යන වග ප්‍රහාරය සිදුවී දින කීපයක් ඇතුළතදීම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා දිගින් දිගටම ඉඟි කළේ අපූරු උපහැරණයකිනි.

 "දඩයම්කරු කවුද යන්න වග දඩයම කරේ තියාගෙන යන කෙනා අනුව නිශ්චය කළ හැකි බව" ඔහු පැවසීය. දඩයම කරේ තියාගෙන යමින් මේ මිලේච්ඡ ප්‍රහාරයේ දේශපාලන වාසිය ලබා ගත්තේ කවුරුන්දැයි ආරංචි රාළ නම් හොඳින් දනී. 

ප්‍රහාරය සිදුවීමට කාලයක පෙර සිට රට තුළ අවස්ථාවෙන් අවස්ථාවට සිදු වූ විවිධ ඝාතන සහ පහරදීම් ඇතුළු සැක කටයුතු සිදුවීම් ගණනාවක් ඒ ගැන යම් ඉඟියක් ලබාදීමට පෙරවදනක් සපයයි. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව කිඹුල් කඳුළු හෙළමින් පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් නීතියේ ඉදිරියට ගෙන එන බව ට මහා පොරොන්දුවක් ලබා දෙමින් බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂගේ සහ ඔහුගේ ආණ්ඩුවේ හැසිරීම සැබවින්ම සැක සහිත විය.

විවිධ කණ්ඩායම් විසින් කරන ලද ස්වාධීන විමර්ශන සහ සාක්ෂි එකතු කිරීම් පදනම් කරගෙන සිවිල් සමාජ කණ්ඩායම් සහ ක්‍රියාකාරින් දිගින් දිගටම ආණ්ඩුවට යුක්තිය ඉටු කරන්නයි බලකර සිටියහ. එහිදී මීගමුව පුරවැසි එකතුව සෑම මාසයකම 21 වන දින මීගමුව කටුවාපිටිය බාල්දිය හන්දියේදී කළ උද්ඝෝෂණය හරහා වගකිව යුත්තන්ට සේම ඉදිරියේදී බලය ලබා ගැනීම සිටින කණ්ඩායම් වලට කළ බලපෑම කිසිවෙකු අමතක නොකළ යුතුය.

කෙසේ වෙතත් වින්දිතයන්ට යුක්තිය ඉටු වුණේ හෝ මහා මොලකරුවන් නීතිය ඉදිරියට ගෙන ආවේ නැත.

2024 සැප්තෑම්බර් 21 වැනි දින ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක සහෝදරයාද එම පොරොන්දුවම ජනාධිපතිවරණයට පෙර ජනතාවට දුන් අතර ඒ පිළිබඳව ලිඛිත ලියවිල්ලක් කතෝලික සභා නායකයන් වෙත සහ ජනතාවට ලබා දුන්නේය.

පසුගිය ඉරිදා කළුතර කටුකුරුන්දේදී පැවැත්වූ ජන හමුවකදී අපේක්ෂාවේ නෙතින් ඔහු දෙස බලා සිටි ජනතාවට ජනපති අනුර කුමාර සහෝදරයා පවසන්නේ;

 "බය වෙන්න එපා! පාස්කු ප්‍රහාරයේ විමර්ශන තිතට කෙරීගෙන යනවා" කියාය.

ආරංචි රාළ නම් යකෙකුටවත් බය නැත. ඒත් මේ තිතට කෙරීගෙන යන විමර්ශනවල ප්‍රතිඵල නිකුත්වන්නේ කවදාදැයි විමසිල්ලෙන් යුතුව බලා සිටින්නේය.

ආරංචි රාළ.

¨ 2025 .01.21. # 18 වන දිගහැරුම -  සංස්කාරක : අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 

 

 

 

 

 

 


Comments

Popular posts from this blog