මියන්මාරයේ රෝහින්‍යයා සරණාගතයෝ, ආණ්ඩුවේ කරුණාව සහ  NGO  අදෝනාව!



පසුගිය දශක තුනක කාලයේ පටන් ලෝකයේ දිනෙන් දින වර්ධනය වන  අභ්‍යන්තර සහ බාහිර යුධ තත්ත්වයන් නිසා පීඩාවට පත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සරණාගතයන් ලෙස රටවල් ඇතුළත ගැටුම් නොමැති ප්‍රදේශවලටත්, තවත් කණ්ඩායම්  බාහිර රටවලටත් ජීවිත රැකවරණය සඳහා පැමිණ ඇත. සිරියාව, යේමනය, පලස්තීනය, යුක්රේනය, ඇෆ්ඝනිස්තානය, ඉන්දීය/ පකිස්ථානු කාශ්මීරය, මියන්මාරය ඇතුළු අප්‍රිකාවේ විශාල රටවල් සංඛ්‍යාවක් මේ සරණාගතයින් ලෝකයට බිහි කරන ලදී.

1983 වනවිට දරුණු තත්ත්වයකට පත් වූ ශ්‍රී ලංකාවේ යුද්ධය ද ලක්ෂ සංඛ්‍යාත සරණාගතයන් පිරිසක් බිහිකළ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කැනඩාව ඇමරිකාව සහ යුරෝපීය රටවල් ගණනාවක රැකවරණය පතා ගිය අතර මේ වන විට වැඩි දෙනෙක් එම රටවල පුරවැසියන් බවට පත්ව ඇත. 2009 මැයි මාසය වන විට ශ්‍රී ලංකාව තුළ පැවති යුධමය වාතාවරණය සම්පූර්ණයෙන්ම පහව යාමත් සමඟම ඇෆ්ඝනිස්තානය,  පකිස්ථානය සහ මැද පෙරදිග රටවල් කීපයකින්ම සරණාගතයන් ලෙස සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරටට  පැමිණ ඇත.

සරණාගතයින් පිළිබඳව කතාව නැවතත් කරළියට එන්නේ පසුගිය දෙසැම්බර් 19 වැනිදා මුලතිව්  මුහුදු සීමාවෙන්  මියන්මාරයේ රෝහින්‍යො මුස්ලිම් සරණාගතයන් 110ක් පැමිණීමත් සමගය.

රට තුල පැවති  යුදමය  වාතාවරණය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳව කාර්යාලය (UNHCR) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ අතර දැනට වසර දහයකට පමණ පෙර ශ්‍රී ලංකාවට  බාහිර රටවලින් පැමිණි සරණාගතයින් පිළිබඳව නිශ්චිත වගකීමක් සහිතව කටයුතු කළ හැකි ජාත්‍යන්තර සංවිධානයක් ලංකාව තුළ ක්‍රියාත්මක විය. ඒ අනුව  සරණාගතයින් පිළිබඳව මූලික වගකීම එම කාර්යාලය විසින් දරන ලද අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල ආධාරද ඇතිව එසේ පැමිණි සරණාගතයින් වැඩි පිරිසකට තුන්වන රටක එක්සත් ජාතීන්ගේ අනාථභාවය සහතිකය(UN Refugee Status) ලබාගෙන ස්ථිර පදිංචිය සඳහා පිටව යාමට අවස්ථාව ලැබුණි. මේ වනවිට  සරණාගතයින්  සිටින්නේ ඉතාමත් සුළු සංඛ්‍යාවකි.

කෙසේ වෙතත් දැන්  එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳව කාර්යාලය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ නැත. මේ නිසා පසුගියදා  බෝට්ටුවකින්  මෙරටට සේන්දු වූ රෝහින්‍යො මුස්ලිම් සරණාගතයන් පිළිබඳව සෘජුවම ශ්‍රී ලංකාවේ රජයට මැදිහත්වීමට සිදුව ඇත. කලින්  පැමිණි සරණාගතයින් බොහොමයක් නිත්‍යානුකූල ලෙස මෙරටට ඇතුල්වූවත් දෙසැම්බර් 19 වැනිදා ලංකාවට පැමිණි රෝහින්‍යො සරණාගතයින්ට තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට කිසිදු ලියවිල්ලක් නොතිබුණු බැවින් නිසැකයෙන්ම  ශ්‍රී ලංකා රජය ඔවුන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස හඳුනා ගෙන ඇත.

ආරංචි රාළට ලැබෙන තොරතුරුවලට අනුව ඔවුන්  සියලු දෙනා ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත්වීම යටතේ රැකබලා ගන්නා අතර ඔවුන් මෙරටට ගෙන ඒම පිටුපස සිටින කණ්ඩායම පිළිබඳව නිත්‍යානුකූල පරීක්ෂණ ආරම්භ කර ඇත.

පසුගියදා කොළඹ පැවති  සම්මන්ත්‍රණයකදී ආරංචි රාළට පැහැදිලි ලෙස වැටහුණේ මෙම රෝහින්‍යො සරණාගතයන් කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආ  ඇති බවත් ඒ වෙනුවෙන් මේ ඔවුන්  අතිවිශාල මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇති බවත්ය.

තමන්  ජීවත්වූ ප්‍රදේශයේ පවතින ගැටුම් සහගත තත්ත්වය නිසා ඔවුන් තම ජීවිත රැකවරණය පතා ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඒ සඳහා ඔවුන් කැරලි කණ්ඩායම් සහ රජයේ හමුදාවන් වලට අල්ලස් දී ඇති බවත් හෙළි විය.   රෝහින්‍යො මුස්ලිම් සරණාගත සහෝදර සහෝදරියන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන්  පිළිබඳව කාර්යාලයේ ආධාර ඇතිව තුන්වන රටක ස්ථිර පදිංචිය සඳහා පිටවීමේ අරමුණ ඇතිවය. ඒ සදහා ඔවුන්ව කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවා ඇති බව ඉතාමත් පැහැදිලිය.

මෙම සරණාගතයන් පැමිණි අවස්ථාවේදීම, ඔවුන් නැවත පිටුවහල් කළ යුතු යැයි යන අදහසක් මතුවුවද මේ වන විට ශ්‍රී ලංකා රජය ඔවුන් පිටුවහල් නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් මෙම සරණාගතයින්  ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක වූ සංවිධානාත්මක කල්ලිය පිළිබඳව නිත්‍යානුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි. මන්ද මේ  පිටු පසුව නිසැකයෙන්ම මිනිස් ජාවාරම්කාරයින් සිටිය හැකි බැවිනි.

ඒ අනුව මිට  සම්බන්ධ යයි සැක කරන 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර මේ වන විට ගුවන් හමුදා කඳවුරේ නවාතැන්  ගෙන සිටින ඔවුන්ගේ පවුල් වෙත යවා ඇත.

 කිසියම් නිශ්චිත කාලයක් සඳහා මෙම පිරිස ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටියත්  ඔවුන්ව තුන්වැනි රටකට යැවීමට ශ්‍රී ලංකා රජයට තිබෙන හැකියාව සැබවින්ම ප්‍රශ්නාර්ථයකි. අනිත් අතට තුන්වන රටකට යෑම සඳහා තාවකාලික රැකවරණය බලාපොරොත්තුවෙන් මෙරටට පැමිණ සිටින මෙම කණ්ඩායම නැවත මියන්මාරයට පිටුවහල් කිරීමද කළ නොහැක.

කවුරුන් කෙසේ කීවත්, අතිශයින්ම ගැටලුකාරී සහ ප්‍රශ්නකාරි ලෙස මෙන්ම  නීති විරෝධීව මෙම කණ්ඩායම මෙරටට සංක්‍රමණය වී ඇතත් ශ්‍රී ලංකා රජය ඉතාමත් මානුෂීය ලෙස මෙම කණ්ඩායම පිළිබඳව කටයුතු කරමින් සිටියි.

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධනය සදහා වන ජාතික කාර්යාලයේ මැදිහත්වීම :  https://youtu.be/pgigVPhPGoA?si=jsCoEu-wd4OV_WNQ

එබැවින් මෙම සරණාගතයන් වෙනුවෙන් හඬ නගන රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලයින්  ශ්‍රී ලංකාවේ පවතින යථාර්ථය වඩා හොඳින් අවබෝධ කරගෙන අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව මේ තත්ත්වය විසදා ගැනීමට ශ්‍රී ලංකා රජය සමඟ වැඩ කළ යුතු බව ආරංචි රාළගේ අදහසයි.

 

ආරංචි රාළ ¨ 2025 .01.29. # 27 වන දිගහැරුම -  සංස්කාරක : අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 

 

 

 

 

 

  

Comments

Popular posts from this blog