ස්වභාවික ව්‍යසනයන් නිසා ඇතිවෙන ආපදාවන් අවම කර ගැනීමට ප්‍රජා මූලික ආපදා කළමනාකරණ වැඩසටහනක් ?

එය ඉහළ සිට පහළට දිවෙන වැඩසටහනකට වඩා ප්‍රජාව ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කර ගනු ලබන ප්‍රජා මූලික ආපදා කළමනාකරණ වැඩසටහනක් විය යුතුය.

මිනිස් ක්‍රියාකාරීත්වයේ ඇති අධි ධාවන කාරී බව නිසා ලෝකයේ බොහෝ දේවල් ඉතා ඉක්මනින් වෙනස් වන්නට පටන් ගෙන ඇත. එහිදී සීඝ්‍ර කාර්මිකකරණය  පරිසර දූෂණයට සුවිශාල දායකත්වයක් ලබා දී ඇත.ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා අහිතකර පාරිසරික ක්‍රියාකාරීත්වයන් මේ වන විට කිසිවෙකුට පාලනය කර ගත නොහැකි තත්ත්වයකට පැමිණ ඇත.

උත්ත්‍රත්ධ්‍රැවයේ අත්ලාන්තික් ගැලැෂියර්  විශාල කුට්ටි වශයෙන් ගැලවී මුහුදට එකතුවීම, මහා පරිමාණ භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් සහ ඒවායින් නිකුත් වෙන අළු වායු ගෝලයට එකතුවීම, සුළි සුළං ට්‍රොනෑඩෝ, මහා වැසි සහ ගංවතුර තත්ත්වයන් ඇතිවීම, ඒ සමග බැඳුණු කඳු කඩා වැටීම් සහ නායයාම් සිදුවීම දැන් ලෝකය පුරා ඉතාමත් සුලභ ස්වභාවික සිද්ධීන් බවට පත්ව ඇත.

ලැව් ගිනි ගැන අප අසා ඇතත්, මේ දිනවල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ සිදුවෙන ඒ මහා ලැව් ගින්න කිසිවෙකුට අදහා ගත නොහැකි තත්ත්වයකි.

සමකයට ආසන්නයෙන් පිහිටි  ඝර්ම කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ පැහැදිලි කාලවකවානු වලට බෙදී උදාවෙන ඍතු අප  අත්දකින්නේ නැත. එහෙත් ප්‍රධාන වශයෙන් උතුරු නැගෙනහිර දෙසින් සහ දකුණ බටහිර දෙසින් හමන සුළඟ කොයි කාලයේදී  පැමිණෙන්නේ දැයි අපිට අවබෝධයක් තිබුණි. අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා සක්‍රීය වෙන නිරිත දිග මෝසම සහ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක වන ඊසාන දිග මෝසම ගැන ජනතාවට හොඳ අවබෝධයක් තිබුණි.

ඒ අනුව දිවයින පුරා වර්ෂාව ලැබෙන්නේ කොයි මාසවලදී දැයි ජනතාවට දැන සිටි අතර විශේෂයෙන් ගොවියන් යල සහ මහ කන්නයේ වගාවන් සැලසුම් කලේ ඒ අනුවය.

එහෙත් ඇති වී ඇති මේ මහා පරිසර විපර්යාසයන් සමඟ මේ මෝසම් සමයන් ආරම්භ වන්නේ හෝ නිමා වන්නේ කවදාදැයි කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකි තරමට ස්වභාවධර්මයේ හැසිරීම වෙනස් වී ඇත.

විටින් විට ඇතිවිය හැකි කාලගුණික වෙනස් වෙනස්වීම් පිළිබඳව කාලගුණ දෙපාර්තමේන්තුවට අනාවැකි කිව හැක්කේ ද ඉතාම ත් කෙටි කාලයකට පෙරය.

ඒ කෙසේ වෙතත් අවුරුද්දේ නිශ්චිත කාල වකවානු කීපයකදී වැසි සහ මහා වැසි ඇතිවන බව අපි දනිමු.ඒ සමගම මහා ගංවතුර තත්ත්වයන් ඇතිවී එය ව්‍යසනයක් දක්වා වර්ධනය වී ආපදා තත්ත්වයන් ඇතිවේ.මේ නිසා රටේ වගාවන්ට විශේෂයෙන්ම, වී වගාවට සිදුවන අලාභ හානිය අතිශයින්ම විශාල වන අතර එය මේ රටේ ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනයට සෘජුවම බලපායි.

මේ දිනවල අම්පාර, පොළොන්නරුව අනුරාධපුරය වැනි ප්‍රදේශවල ඇතිවී ඇති ගංවතුර තත්ත්වය සහ ජලාශ වලින් ජලය මුදා හැරීම නිසා අතිවිශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් විනාශ වී ඇති අතර එය ගොවීන් අපේක්ෂා කළ මුළු අස්වැන්නෙන් 12% වඩා වැඩි ප්‍රතිශතයක් බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ආරංචි රාළගේ ප්‍රශ්නය වන්නේ;  වාර්ෂිකව සිදුවෙන මෙම ගංවතුර තත්ත්වයන් නිසා වගා බිම් වලට  සිදුවන හානි පිළිබදව මේ රට පාලනය කළ ආණ්ඩුවලට හෝ ආපදාවන් පිළිබඳව වගකිවයුතු ආපදා කළමනාකරණ බලධාරීන්ට අවබෝධයක් තිබුණේ නැද්ද යන්නයි.

අපි කැමැති වුද, අකමැති වුවද සිදු වෙමින් පවතින ගෝලීය දේශගුණික වෙනස්වීම් සමඟ නියත වශයෙන්ම ඉදිරියේදී අනපේක්ෂිත ස්වභාවික විපත් සිදුවෙනු ඇත.

ආණ්ඩුවක් කළ යුත්තේ එම ස්වභාවික විපත් නිසා පීඩාවට පත් වන ජනතාවට සහනාධාර සැපයීම හෝ වන්දි ගෙවීම පමණක් නොවේ.

ඇතිවිය හැකි ආපදාවන් උපරිම මට්ටමෙන් අවම කර ගැනීම සඳහා නිශ්චිත වැඩ පිළිවෙලක් සකස් කිරීමයි.

එය ඉහළ සිට පහළට දිවෙන වැඩසටහනකට වඩා ප්‍රජාව ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කර ගනු ලබන ප්‍රජා මූලික ආපදා කළමනාකරණ වැඩසටහනක් විය යුතුය.

ඒ වෙනුවෙන් මේ රටේ ආපදා කළමනාකරණය පිළිබඳව වගකිවයුතු බලධාරින් වැඩි වගකීමකින් යුතුව  සැලසුම් සකස් කළ යුතු බව ආරංචි රාළ පවසයි.

මේ ව්‍යසනය ජයගත හැක්කේ එවැනි වැඩපිළිවෙළක් තුළින් පමණි.

 

ආරංචි රාළ¨ 2025 .01.23. # 20 වන දිගහැරුම -  සංස්කාරක : අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 

 

 

 

 

 

Comments

Popular posts from this blog