වංචනිකයින්,දුෂිතයින් සහ අපරාධකරුවන් නීතීය ඉදිරියට ගෙන ඒම දේශපාලන පලිගැනීමක් නොවේ!

දේශපාලනයට ඍජුව සම්බන්ධ කෙනෙක් හෝ දේශපාලන පවූලක සාමාජිකයෙක් මේ   රටේ නීතියට පටහැනිව කිසියම් වංචාවක් දූෂණයක් හෝ අපරාධයක් කර ඇත්නම් ඔහු හෝ ඇය කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමයි.

මහා අධිකරණය විසින් මිනීමැරුමකට වරදකරු කරන ලදුව එය අභියාචනාධිකරණය විසින් යළි තහවුරු කළ පසුව මරණ දඬුවම නියම කරනු ලැබූ වරදකරුවකුට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, ජනාධිපති සමාව ප්‍රදානය කළ අතර ඉන් නොනැවතී ඔහුව රජයේ ආයතනයක ඉහළම තනතුරකට පත් කිරීමට තරම් නීතිය තමන්ගේ පාලනය යටතේ බව පෙන්නු ජනාධිපතිවරුන් ගැන ජනතාවට හොඳට මතකය.

පසුගිය කාලයේ මේ රට තුළ  දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවූ බව සැබෑය.  තමන් උපයාගත් මුදලින් අත්‍යාවශ්‍යම භාණ්ඩ පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වී රට බංකොලොත් රාජ්‍යයක් බව ප්‍රකාශ කිරීමට ඒ ඊනියා පාලකයන්ට සිදුවිය.

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා පසුගිය සැප්තැම්බර් 21 වන දින පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ හෝ ඉන් අනතුරුව පැවැති මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගයට තුනෙන් දෙකක බහුතරයක් පාර්ලිමේන්තුවේ ලබා දෙන්නේ එම ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීමට වඩා වසර ගණනාවක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වූ මජර, ජඩ දේශපාලන සංස්කෘතිය අවසාන කර නව පුනරුදයක් ඇති කිරීමටය.

පොරොන්දු පරිදිම ඉතා ක්‍රමවත්ව ජාතික ජන බලවේග ආණ්ඩුව එම කර්තවයේ නිරතව සිටින්නීය.මේ ආකාරයට නව දේශපාලන සංස්කෘතියක් සමග ඉදිරියට ගමන් කරන්නේ නම් නියත වශයෙන්ම  දසක ගණනාවක් තුළ මේ රටේ පැවති මචර ජඩ දේශපාලන සංස්කෘතියේ නිර්මාතෘවරුන් සහ ඒවායේ නායකයින්ට නැවත මේ රටේ බලය ලබා ගැනීමට නොහැකි බව ඉතා පැහැදිලිය.

බලයේ සිටි දේශපාලන පවුල් කීපයක් රැක ගැනීම සඳහා ජඩ මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන සහ මහා දූෂණ වංචා සහ අපරාධවල කොටස්කරුවෝ දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරමින් සිටින්නේ මේ රටේ විනාශයට ලබා දුන් දායකත්වයට ඉදිරියේදී ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවෙන බව දන්නා නිසාය.

මේ  මඩ ප්‍රචාර සහ බොරු අවලාදවලට එරෙයිව ජනතාව දැනුවත් කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුවේද වගකීමකි.

විනයගරුක පිරිසිදු දේශපාලන වාතාවරණයක් තුළ ඕනෑම ආර්ථික, සමාජ සමාජීය සංස්කෘතික සහ පාරිසරික අභියෝගයක් ජය ගත හැකිය.

නීතියේ ආධිපත්‍යයට උපරිම ලෙස ගෞරව කරමින් මේ රට සෑම අංශයකින්ම පිරිසිදු රටක් කිරීමට ජාතික ජන බලවේගය ගන්නා උත්සාහය ගැන ආරංචි රාළ සිටින්නේ ඉතා සතුටිනි.

ආරංචි රාළ¨ 2025 .01.27. # 25 වන දිගහැරුම -  සංස්කාරක : අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 

 

 

Comments

Popular posts from this blog