අද ජගත් පරිසර දිනයයි. අද අප පරිසර දිනය සමරන්නේ තනි රටක් ලෙස නොව සමස්ත ලෝකයකයේම පරිසරයට අතිශයින්ම විනාශකාරී බලපෑම් සිදුවී ඇති තීරණාත්මක  මොහොතකය. 

පරිසරයේ පවතින සංහිදියාව අප සමාජය තුළද අත්දැකිය යුතුය.

අද ජගත් පරිසර දිනයයි. මේ සුවිශේෂ දිනයට සමගාමීව රාජ්‍ය නායකයාගේ මැදිහත්වීමෙන් ජාතික පරිසර දිනයක් ඇතුළුව අග්‍රාමාත්‍යවරිය ඇතුළු මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවිධ පරිසර වැඩසටහන් රට පුරා පැවැත්වීම අගය කළ යුතුය. ඊට අමතරව ජාත්‍යන්තර සහ දේශීය සිවිල් සමාජය සහ රාජ්‍ය නොවන සංවිධානද මෙම පරිසරය දිනය සැමරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කර තිබෙනවා දකින්නට ලැබුණි.

අප පරිසර දිනය සමරන්නේ තනි රටක් ලෙස නොව සමස්ත ලෝකයකයේම පරිසරයට අතිශයින්ම විනාශකාරී බලපෑම් සිදුවී ඇති තීරණාත්මක  මොහොතකය.
විවිධ ක්ෂේත්‍රයන් මුල් කරගෙන ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත් කිරීම සහ එම දිනයන් සැමරීම පිළිබඳව ආරංචි රාළ එතරම් ලොකු සැලකිල්ලක් නොදක්වන්නේ එම වැදගත් ක්ෂේත්‍රයන් බොහෝ විට එක් දිනකට හෝ කිසියම් කාල සීමාවකට කොටුවී ඇති නිසාය.
ආරංචි රාළ විශ්වාස කරන්නේ;.පරිසරය යනු අපගේ ජීවිතයේ එදිනෙදා පැවැත්ම බවයි. කඩේකින් මිලට ගන්නා කුඩා ටොෆියක දවටනය ඉවත් කර පාරට විසි කිරීමේ සිට මහා දැවැන්ත වනාන්තර විනාශ කර දැමීම දක්වා විවිධ ආකාරයට අපි පරිසරයේ විනාශයට හවුල් වන්නෙමු.
එසේම කුඩා පැළයක් සිටුවීමේ සිට පරිසරය රැක ගැනීම සඳහා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පැවැත්වීම දක්වා අපි පරිසරය රැක ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වලට සහභාගී වන්නෙමු.
පරිසරය රැක ගන්නේද , විනාශ කරන්නේද පරිසරයේම සුවිශේෂී කොටසක් වී ඇති මනුෂ්‍යයන් වන අපමය.

අද දින රාජ්‍ය නිලධාරීන් සඳහා පැවති සුවිශේෂී වැඩසටහනක් ආමන්ත්‍රණය කරමින් ප්‍රවීන පරිසරවේදී සහ ඡායාරූප ශිල්පී, මුතුරාජවෙල සුරැකීමේ කොළඹ අගරදගුරු කමිටුවේ සභාපති දිනූෂ නානායක්කාර මහතා පැවසූ කෙටි කතාවක් ඔබ සමග බෙදා ගන්නට කැමතියි. එහිදී ඔහු පෞද්ගලිකව පරිසරයට ආදරය කරන්නට සහ පරිසර වේදියෙක් වීමට බලපෑ තම ළමා කාලයේදී අත්දුටු කුඩා සිදුවීමක්  මතක් කළේය. 

ඒ ඔහු කුඩා කාලයේ තම පියා සමග යාල වන උද්‍යානය නැරඹීමට ගිය අවස්ථාවේදී දුටු දර්ශනයකි. යාල වන උද්‍යානයට අතුලුවෙත්ම   ඔහු සියඹලා ගසක් උඩ සිටින රිලවුන් රෑනක් දුටුවේය. එම රිලවුන්  ගස උඩට වී සියඹලා කමින් සිටි අතර එකවරම සියල්ලෝම එක්ව ගසේ අතු සොලවන්නට විය. එවිට ගසේ තිබූ ඉදුණු සියඹලා බිමට වැටුණේය. එම සියඹලා ගස යට සිටි මුවන් විසින් අනුභව කරන්නට විය.  මෙය  දිගින් දිගටම ඔහු බලාගෙන සිටි අතර තමන් සමග ගිය මග පෙන්වන්නා ගෙන් රිලවුන් එසේ කරන්නේ ඇයි දැයි  කියා විමසීය. එවිට මග පෙන්වන්නා පැවසුවේ, බිමට වැටෙන සියඹලා මුවන් කනවාද, නැද්ද යන වග රිලවුන් නොදන්නවා විය හැක. එහෙත් ස්වභාවධර්මය විසින් එසේ කරන්නැයි රිලවුන්ව පොළඹවනවා. 

මෙය ආශ්චර්ය ජනක කතාවකි. වනයේ ශක්තිමත් සතුන් කුඩා සතුන්ව තමන්ගේ ගොදුර කරගන්නා බව අප දන්නා අතර තමන්ගේ වර්ගයාට අයත් නොවන සතුන්ගේ කුසගින්න සඳහා අවශ්‍ය ආහාර සැපයීමට තවත් සතුන් වර්ගයක් සූදානමින් සිටින තරමට සංහිඳියාවක් පරිසරය තුළ ඇත. ලෝකය නිර්මාණය වන්නේම මේ සංහිඳියාව සමඟය. එහෙත් අද මේ සංහිඳියාව බිඳ දමා ඇත.
පරිසරයේ සංහිඳියාව බිඳ දැමූවෝ කවුරුන් ද?
ඔවුහු මේ පරිසර විනාශයට වගකිව යුතුය. ලෝකය තුළ ජෛව විවිධත්වය පවතින අතර ඒ ඉතා ක්‍රමානුකූලව සංහිඳියාවෙන් යුතුව පවත්වාගෙන යාමට වැඩිම වගකීම ඇත්තේ තමන්ගේ දැනුමෙන් සහ ඥානයෙන් ලෝකය පාලනය කරන ලබන මිනිසාට මය.
මිනිසුන්ට බොහෝ දේවල් අමතක වේ.
වෙලාවෙන් වෙලාවට තමන්ගේ පෞද්ගලික අවශ්‍යථාවයන්  පමණක් නොව, සමාජමය සහ පාරිසරික යුතුකම් මතක් කර දීමට ජගත් පරිසර දිනයක් තිබීම වැදගත් බව ආරංචි රාළ දැන් කියයි. මක්නිසාදයත් පරිසරයේ පවතින සංහිදියාව අප සමාජය තුළද අත්දැකිය යුතුය.
අපි එක්ව පරිසරය රැක ගනිමු! එහි සංහිදියාව විදිමු!
 
ආරංචි රාළ; 2025.06.05. 111 වන දිගහැරුම

 

Comments

Popular posts from this blog