කුමන ආකාරයක සැමරුමක් උවද එය වෛරය නොපැතිරවිය යුතුය.
ජාතික සමගිය ගොඩනැඟීමේදී අන්තර්කරණ (Inclusion) ක්‍රියාවලිය තුළ ප්‍රතිස්ථාපන යුක්තිය(Restorative Justice) ගැන කතා කරමු.
සාමය පිළිබඳව විවිධ නිර්වචන ඇත. ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය නිර්වචනය වන්නේ ' ආයුධමය අරගලයක් නොමැති වීම' නැතහොත් 'යුද්ධයක් නොමැති වීම'( Absence of Armed conflict or Absence of War) හැඳින්විය හැක. එසේම හිංසාකාරී ක්‍රියා සිදු නොවීම ( No violence ) සාමය බව අපි කියන්නෙමු.
එහෙත් සාමය පිළිබඳව කරනු ලබන ගැඹුරු විග්‍රහයකදී සමාජයක නිශ්චිත ලෙසම සාධාරණත්වය ස්ථාපිතව පැවතීම අතිශයින්ම වැදගත්වේ.
පසු ගැටුම්කාරී හෝ යුදමය තත්ත්වයක් (post conflict or post war ) තුළ සාමය ගොඩනැගීමට ප්‍රතිස්ථාපනය යුක්තිය(Restorative Justice) ඇති කළ යුතු බව වෘත්තීයමය සාම ක්‍රියාකාරින්ගේ අදහසයි. උගත් පාඩම් සහ ප්‍රතිසංධානය කොමිසම් වාර්තාවේ ප්‍රධාන නිර්දේශයක් ලෙස මෙය ඉදිරිපත් කරයි.
වසර තිහකට ආසන්න යුද්ධයකට මැදි වී සිටි ශ්‍රී ලාංකීය සමාජය රටට සාමය උදාවූවා යයි අදහස් කරන්නේ දෙමළ සටන්කාමී කණ්ඩායම් නිහඩ කර යුදමය අරගලය නිමාවට පත්වීමයි.
2009 මැයි මැද භාගයේදී එල්ටීටීඊ සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර යුදමය තත්ත්වය සම්පූර්ණයෙන්ම නිමාවූ බව අපි දන්නෙමු.
ඒ සමග රජය පමණක් නොව රටේ බහුතර ජනතාව රටට සාමය උදාවූවා යයි උදම් අනන්නට විය.
සැබවින්ම ශ්‍රී ලංකාවට සාමය උදාවී ද?
පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදුවූ ඝාතනයන් පිළිබඳව කතා කරන බොහෝ විපක්ෂයේ දේශපාලකයින් මොර දෙන්නේ නැවතත් ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්‍ෂාවකට තර්ජනයක් එල්ල වී ඇති බව සහ රටේ සාමය බිදී වැටී ඇති බවය. ආරංචි රාළට සිතෙන්නේ නම් විපක්ෂයේ දේශපාලකයින් ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව සමග පමණක් නොව සාමය සමගද පටලවාගෙන බවයි.
කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් නිතර නිතර ඇතිවීම තුළ මහජනතාවගේ එදිනෙදා සාමකාමී ජීවිතයට කිසියම් තර්ජනයක් එල්ල වන්නේ නම් එය රට තුළ පවතින සාමය යම් ආකාරයකට කඩවීමකි. එබැවින් එවැනි තත්ත්වයන් පාලනය කිරීම ආණ්ඩුවේ වගකීමකි.
එල්ටීටීඊ සංවිධානය සහ ශ්‍රී ලංකා රජයේ හමුදා අතර ආයුධ සන්නද්ධ අරගලය අවසාන වී දැන් වසර 16 කට වැඩි කාලයක් ගත වී ඇත. යුද්ධය ආරම්භ වූ සමයේ සිට එය අවසාන වූ දිනය දක්වාම පැවති තත්ත්වය යළි යළිත් විග්‍රහ කිරීම අවශ්‍ය වන්නේ නැත.
එහෙත් යුද්ධයට පෙර පැවති තත්ත්වය පිළිබඳව අප අවධානය යොමු කළ යුතුම වන්නේය. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ 1980 ගණන්වලදී පැවති සංවර්ධන සභා ඡන්ද විමසීම සහ ඊට සමගාමීව රාජ්‍ය අනුග්‍රහය ඇතුව දකුණෙන් උතුරට යවන ලද මැර කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයයි.
ඒ අතර අතිශයින්ම අනුවේදනීය සිදුවීම වන්නේ යාපනය පුස්තකාලයට ගිනි තබා විනාශ කිරීමයි. උතුරු නැගෙනහිර ජනතාවට පමණක් නොව මෙරට සහ ලෝකය පුරා බුද්ධිමතුන් සහ උගතුන්ට සැමටම එය අතිශයින්ම ඛේදනීය අත්දැකීමක් විය.
වසර 45 කට වැඩි කාලයක් ගත වී ඇතත් මේ ඛේදවාචකය ගැන තවමත් අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජනතාව කතා කරති.
වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ ඇදී ගිය මහා විනාශකාරී යුද්ධයට උතුරු නැගෙනහිර දෙමළ තරුණ තරුණියන්ට සම්බන්ධ වීමට පෙළඹවනු ලැබූ සුවිශේෂ සිදුවීමක් ලෙස යාපනයේ පුස්තකාලයට ගිනි තැබීම සදහන් කළ හැක. එසේම වෙනම රාජ්‍යයක් සදහාවන අරගලයට මේ සමග බොහෝ දෙනෙකුගේ සහය ලැබෙන්නට විය.
එහෙත් මේ මොහොතේ ආරංචි රාළ ප්‍රශ්න කරන්නේ, අප මේ රට තුළ ස්ථාපිත කිරීමට අදහස් කරන සාධාරණත්වයෙන් යුතු ගැඹුරු සාමකාමී වාතාවරණය ගොඩනැගීම සඳහා මෙවැනි ඛේදනීය සිදුවීම් නිතර නිතර සාකච්ඡාවට බඳුන් කිරීම අතීතයේ ජනතාව තුල වෛරී සිතුවිලි ඇතිකළ ක්‍රියාකාරකමක් යළි යළිත් මතක් කිරීමක් නොවේද යන්නයි.
අරන්තලාව භික්ෂු ඝාතනය, අනුරාධපුරය ශ්‍රී මහ බෝධිය අසල බැතිමතුන් ඝාතනය කිරීම, ශ්‍රී දළදා මාලිගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, යාපනයේ නවාලී දේවස්ථානයට බෝම්බ හෙලීම, කොළඹ නගරය ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවල සාමන්‍ය ජනතාව ඉලක්ක කර සිදුවූ මහා විනාශකාරී ක්‍රියා නිතර නිතර මතක් කරනවා ආරංචි රාළ දකී.
එසේම යුද්ධයේ අවසාන දින කීපය තුළදී මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් මුල්ලිවයිකාල් ප්‍රදේශයේ සිදුවූ මහා මිනිස් ඝාතනය සෑම වසරකම ස්මරණය කිරීම තුළින් සිදුවන්නේ කුමක්දැයි ආරංචි රාළ ප්‍රශ්න කරයි. එපමණක් නොවේ යුද්ධය නිමවූ දින පටන් උදාවූ සෑම මැයි 19 දිනයක රජයේ පූර්ණ මැදිහත්වීම තුළ රාජ්‍ය නායකයාගේ ද සහභාගිත්වයෙන් පවත්වන රණවිරු සැමරුමෙන් සමරන්නේ කුමන ජයග්‍රහණයක් ද?
රට තුළ එකම දිනයන් දෙක-තුනක් තුළ මේ වපුරන්නේ වෛරය නොවේද?
නන්දිකඩාල් කලපුවට මායිම්ව මුල්ලිවයිකාල් භූමිය තුළ අතිවිශාල නිරායුධ ජනතාවක් සිරවී සිටියහ. යුද්ධයේ අවසාන දින කීපය තුළ එල්ටීටීඊ සංවිධානය මෙසේ සිරවී සිටි ජනතාව තමන්ගේ ආරක්ෂාව සදහා මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම පිළිබඳව එකිනෙකට පරස්පර කතා ඇත. සුදු කොඩි අත දරා ඉදිරියට පැමිණි ජනතාවට වෙඩි තබා මරා දැමූ බව සමහරුන් චෝදනා කරති.
මුල්ලිවයිකාල් බිම් තීරුවේ සිදුවූයේ කුමක්දැයි දන්නේ එම භූමියේ සිටි අය පමණි.
කවුරුන් මොන ආකාරයෙන් සාධාරණීයකරණය කරන්නට උත්සාහ කළත් එම කාලය තුළ අතිමහත් වූ ජනතාවක් ඝාතනයට ලක්විය. එය කිසිවෙකුට නැතැයි කියා ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙත් මේ මහා ඝාතන දිගින් දිගටම මතක් කිරීමෙන් සිදුවන්නේ කුමක්ද?
දකුණු අප්‍රිකානු නිදහස් අරගලයට නායකත්වය දුන් ආචාර්ය නෙල්සන් මැන්ඩෙලා එරට සත්‍යය සහ සංහිඳියාව කොමිසම ක්‍රියාත්මක වන කාල වකවානුවේදී මෙවැනි ප්‍රකාශයක් කළේය.
" සිදුවූ කිසිවක් අමතක නොකරන්න, එහෙත් ඒ කිසිවක් යළි යළිත් මතක් නොකරන්න, සාමය කරා යන ගමනේදී හැමවිටම වෛරයේ හැඟීම් අප වෙත ළඟාවීම අවම කිරීමට කටයුතු කරන්න"
යුද්ධයකින් කිසිවෙකු ජයග්‍රහණය කරන්නේ නැත. එහෙත් කණ්ඩායමක් තමන් යුද්ධය ජයග්‍රහණය කලායැයි කිය කියා සැමරුම් පවත්වන විට පරාජිත කණ්ඩායම් තුළ ගොඩනැගෙන මානසිකත්වය කුමක්ද?
මිය ගියේ කවුරුන් වුවද අප මළවුන් ස්මරණ කර ඔවුන්ට පින් දිය යුතුය. එහෙත් ඔවුන් මියගියේ කෙසේදැයි කතා කිරීම සහ සිහිකිරීම නැවත නැවත හදවත තුළ වෛරය මතුකර ගැනීමක් නොවිය යුතුය.
එසේනම් අසාධාරණයට පත් වූ ජනතාවට සාධාරණත්වය ලබා දෙන්නෙ කෙසේද? සාධාරණත්වය යළි ස්ථාපිත නොකරන සාමය ගොඩනැගිය හැකිද කෙනෙකුට ප්‍රශ්න කළ හැක.
පිළිතුර ඉතා සරල ය. රටක සාධාරණත්වය පවත්වාගෙන යා යුත්තේ සහ අසාධාරණයට පත් වූ අයට යළි සාධාරණත්වය ස්ථාපිත කළ හැක්කේ රටක් පාලනය කරන රජයකට පමණි. එබැවින්, සාමය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් කළ යුතුව ඇත්තේ සැමරුම් පැවැත්වීම නොව සාධාරණත්වය ස්ථාපිත කිරීමට රජයට බල කිරීමය. එය අගතියට පත්වූ ජනතාව කේන්ද්‍ර කරගෙන සාධාරණත්වය ස්ථාපිත කිරීමකට වඩා අනාගතයේදී එවැනි තත්ත්වයන් ඇති නොවීමට කරනු ලබන ස්ථිර සහතික වීමක් සමග වන ආණ්ඩුකරණය ඉදිරියට ගෙන යාමක් විය යුතුය.
ප්‍රතිස්ථාපන යුක්තිය (Restorative Justice) සංකල්පයක් ආරංචි රාළ පිලිගත්තද එම ක්‍රියාවලිය පිළිගැනීමට තරම් අධ්‍යාත්මයක් ගොඩ නැගී නොමැති සමාජයක අපි වැඩි අවධානයක් අන්තර්කරණ ක්‍රියාවලියට යොමු කළ යුතු වන අතර ප්‍රතිස්ථාපන යුක්තිය අන්තර්කරණය (Inclusion) තුළ සිදු විය යුතු වන්නේය.
ආචාර්ය නෙල්සන් මැන්ඩෙලා පැවසූ අදහස මෙහිදී අපට අතිශයින්ම වැදගත් වන්නේ ඒ නිසාය.
ආරංචි රාළ 2025.06.03. 110 වන දිගහැරුම
Comments
Post a Comment