"කළු වැල්ල" හදන සුදර්ශන බියන්වල

විචාරකයින්ට මග හැරුණු සොදුරු නිර්මාණකරුවා

මේ දිනවල නිතර නිතර සමාජ මාධ්‍ය ඔස්සේ  ප්‍රචාරය වන, ඉදිරියේදී YouTube අවකාශය ඔස්සේ විකාශනය වීමට නියමිත "කළු වැල්ල" නම් වූ  නාට්‍යයක් පිළිබඳව පූර්ව ප්‍රචාරක පටය අපේ නෙත ගැටෙනවා.
ආරංචි රාළගේ මේ උත්සාහය එම නිර්මාණයට ප්‍රචාරයක් ලබාදීම නම්  නොවේ. එහෙත් එහි නිර්මාණය කරුවා පිළිබඳව නම් කතා කළ යුතුවම ඇත. මක්නිසාදයත්, වසර විසිපහකට අධික කාලයක් ඔහු කලා ක්ෂේත්‍රය තුළ විවිධ හපන්කම් පෑවත්, ඔහු ගැන කවුරුත් කතා කළේ  නැත.

සුදර්ශන   බියන්වල, අද ආරංචි රාළගේ කතා නායකයායි.

කුඩා කාලයේ සිටම චිත්‍ර ඇඳීමට, පද්‍ය රචනයට, ගීත ගායනයට සහ නිවේදන කර්තව්‍යයට උපන් හපන් කම් දැක්වූ සුදර්ශණ මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පළ කරන ලද ප්‍රාදේශීය පුවත්පත්වල කාටූන් සහ චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළේය. ඔහු විසින් නිර්මාණය කරනලද කෙටි චිත්‍රකතා බොහෝය. ඒ සඳහා ඔහුට ජාතික වශයෙන් අවස්ථාවක් උදාවන්නේ ශ්‍රී ලංකාවේ පැරැණිතම සිංහල පුවත්පත වන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට කෙටි චිත්‍රකතා ඇඳීමට අවස්ථාව උදාවීමත් සමඟය.

අතට අසුවෙන ඕනෑම කොල කෑල්ලක කුමක් හෝ නිර්මාණයක් කරන සුදර්ශන  මේ වනවිට විවිධ ආකාරයේ චිත්‍ර ගණනාවක්ම නිර්මාණය කර ඇති අතර ඒ සඳහා ඔහුට කතෝලික පල්ලියේ ආභාශය ඉතා තදින් බලපෑ බව කිව යුතුය.

අතිශයින්ම ගැඹුරු, එහෙත් ළයාන්විත වූ කටහඩකට උරුමකම් කියන සුදර්ශන ගේ දිවගට  වචන ගලා ගෙන එන්නේ වක්කඩින් වතුර ගලා යන්නා සේය.
ඔහු අති දක්ෂ හඬ කැවීම් ශිල්පියකුද  වන්නේය. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකා ගනනාවකම විකාශනය වූ හඩකවන ලද  ටෙලිනාට්‍ය  සහ චිත්‍රපට ගනනාවකටම ඔහු තම දායකත්වය ලබා දී ඇත.
සැම විටම තම කුඩා කැමරාව අතේ තබාගෙන සිටින සුදර්ශන, ස්වභාව සෞන්දර්ය තම කාචයට හසු කරගන්නට ලොකු සමත්කමක් දැක්වයි. 

ඔහු විසින් නිර්මාණය කර ඇති YouTube නාලිකා ඔස්සේ  ප්‍රචාරය වූ කෙටි වීඩියෝ චිත්‍රපට ගණනාවකි.

සාම්ප්‍රදායික පාස්කු නාට්‍යය සහ චිත්‍රපටවල එන ක්‍රිස්තු චරිතය ඔහු සමාජයට සැබෑ අභියෝගයක් වන ආකාරයට ඔහුගේ නිර්මාණ ඔස්සේ ප්‍රතිනිර්මාණය කර ඇත. මේ සියල්ලටම වඩා ඔහු දක්ෂකම් දක්වන්නේ නිවේදන වෘත්තියටය.

වසර ගණනාවක් තිස්සේ මීගමුව පාදක කරගෙන විකාශනය වන සෙත් FM  ගුවන් විදුලි නාලිකාවේ නිත්‍ය නිවේදකයා වූයේ සුදර්ශන වියන්වලය. ඔහු අතින් නිර්මාණය වූ ගේය පද ගණනාවක්ම ජනප්‍රිය ගායකයින් තම හඬ මුසුකර ප්‍රචාරය කර ඇත.
කිසිවිටක ප්‍රසිද්ධිය හඹා නොගිය සුදර්ශන සැමවිටම තමාගේ නිර්මාණකරණයේදී අතිශයින්ම නිදහස්ව සහ ස්වාධීනව කටයුතු කරන්නට උත්සාහ කරන්නේය.
මීගමුව අවට ප්‍රදේශ පමණක් නොව මේ වන විට බස්නාහිර සහ වයඹ පළාත දක්වා විකාශන අවස්ථාව ලබාගෙන තියෙන සෙත් FM  ගුවන් විදුලි නාලිකාවේ ගමන් මග උඩු යටිකුරු කළ "අන්තෝනි මාමා" ඔහුය.
මේ දිනවල ඔහු අතිශයින්ම බාරදූර කලා කටයුත්තකට අත ගසා ඇත. ඒ තමා විසින්ම කතාව සහ තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන "කළු වැල්ල" නම් වූ YouTube
චිත්‍රපටය නිර්මාණය කිරීමයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පූර්ව ප්‍රචාරණ වීඩියෝ නැරඹීමේදී ආරංචි රාළට සිතෙන්නේ "කළු වැල්ල" YouTube  ටෙලි චිත්‍රපට ක්ෂේත්‍රය තුළ මහා විප්ලවයක් කරන බවය.
පවතින යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන සුදර්ශන බියන්විල ට ආරංචි රාළ තම සුභාශිංසන පිරිනමයි.
 

ආරංචි රාළ; 2025.06.08. 113 වන දිගහැරුම.
 

 

 

 

Comments

Popular posts from this blog