සමාජ අසාධාරණයට එරෙහිව මහපාරේ කෑ ගැසීමෙන් ඔබ්බට යන ක්‍රියාවලියක අවශ්‍යතාවය දකින ඔහු ෂෙල්ටන් පීරිස් නම් විය.
ආරංචි රාළට ඔහු ගැන සටහනක් ලියන්නට ලොකු ඕනෑ කමක් තිබුණි. විවිධ හේතු නිසා එය පමා වුවත් ඔහු තම උපන්දින සමරන අද දිනයේ ආරංචි රාළට කිසිසේත්ම එය මගහැර සිටින්නට නම් නොහැකිය.
වසර ගණනක් ඔහු සේවය කළ ඉන්දියානු රාජ්‍ය බැංකුවේ බොහෝ දෙනෙකුට ඔහු 'ෂෙලී' විය. ගෙදර අය නම් ඔහුට කතා කළේ ෂෙල්ටන් කියාය. තමා ලියන කවියක කෙටි කතාවක හෝ කුමන හෝ සටහනක එය තමාගේ බව කියන්නට තබන සළකුන වුයේ; හේ.ෂෙල්ටන් පීරිස් ය. ආරංචි රාළට ඔහු ජෙරී අයියා විය.
කවුරුන් කුමන නමකින් හැඳින්වුවත්, ඔහු නම් අපූරු මිනිසෙකි.
ආරංචි රාළ ඔහු ගැන දන්නා තොරතුරු වලට වඩා නොදන්නා තොරතුරු බොහොමයකි. එබැවින් මේ සටහන නියත වශයෙන්ම ඔහු පිළිබඳව කරන කථිකාවක අල්පමාත්‍රයක් පමණි.
තරුණ ක්‍රිස්තියානි සංගමය නිසා වයස අවුරුදු දාහතේ තරුණ ගැටවරයෙකුගේ කාලයේ පටන් ෂෙල්ටන් පීරිස් නම් වූ මේ මහා පුරුෂයා සමඟ සුන්දර සබඳතා පැවැත්වීමට ආරංචි රාළට හැකිවිය. එය ආරංචි රාළ සලකන්නේ භාගයක් ලෙසය.
ඒ මහත් වූ භාග්‍ය හිමිවන්නේ ඔහු විසින් කරන ලද බොහෝ නිර්මාණ, කවි කෙටි කතා නාට්‍ය පිටපත් කියවීමට ආරංචි රාළට තම යොවුන් වියේදී අවස්ථාව හිමිවූ නිසාය. 1970 දශකයේදී ඔහු විසින් කරන ලද බොහෝ නිර්මාණ ඔහු විසින්ම යතුරුලියන කර තිබුණි.
ඔහු විසින් රචනා කර තිබූ, 'විප්ලවය' නම් වූ කෙටි නාට්‍යය ආරංචි රාළට තාමත් මතකය.
ජෙරි අයියාට අවශ්‍යව තිබුණේ කතෝලික පියතුමකු වන්නටය. ඔහු කොළඹ ශාන්ත ඇලෝසියස් දෙව්සත්හල්ට ඇතුළත් වන්නේ ඒ නිසාය.
ඉන් අනතුරුව අම්පිටිය ජාතික දෙව්සත්හලේ පූජක සිසුවෙකු ලෙස අධ්‍යාපනය ලබන කාලයේදී ඔහුගේ හිත වඩාත් තදින් ඇදී ගියේ කිතු දහමේ ධාර්මික යොමුව කෙරෙහිය. කතෝලික පූජකයෙකු වීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව වූයේද එයමය.
ඔහු දෙව් සත් හල හැර ආවේ නැත, එහෙත් ඊනියා සභාවේ නායකයෝ ඔහුට දෙව්සත්හළ අතහැර යන තැනට වැඩ කටයුතු කළහ. එය වෙනම කතා කළ යුතුව ඇත. මේ ගැන යමක් දැන ගන්නට අවශ්‍ය නම්, සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ ජීවිත කතාව පදනම් කරගෙන ලියා ඇති " ඉද්දේ" පොත කියවන්නටයි ආරංචි රාළ ඔබට ආරාධනා කරයි.
කෙසේ වෙතත් අපේ කතා නායකයා සැබවින්ම සුවිශේෂී මනුෂ්‍යයෙකි. පසුගියදා වසර පනහේ සංවත්සරය සැමරූ සෙත්තප්පාඩුව, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය (Pamunugama YMCA ) පිහිටුවීමේ පුරෝගයාමියා ඔහු විය. සෙත්තප්පාඩුව කැපුන්ගොඩ ගම්මානයේ නාට්‍ය කලාවට නව පුනරුදයක් කැඳවාගෙන ආ නාට්‍ය රචකයා ඔහු විය. ඔහු විසින් රචනා කරන ලද "කුරුසිය" " හෙළෙයියා" " "වාරකන්" "පිය-පුතු" සහ "මාවතේ අපි" නාට්‍ය ඔස්තාර්ලාගේ නිසි අගැයීමකට ලක් නොවුනද, සැබවින්ම නාට්‍ය කලාව නව මංගල යොමු කළ නිර්මාණය ලෙස ආරංචි රාළ සලකයි.
සමාජ අසාධාරණයට එරෙහිව ඔහු මහපාරේ කෑ ගැසීමට ඔබ්බට යන ක්‍රියාවලියක සිටියේය. එහිදී ගම අසාධාරණයෙන් සහ පිඩිත බවින් මුදවා ගතයුතු බව ඔහු තරයේ විස්වාස කළහ. ඒ සදහා එකම විකල්පය ජනතාව සංවිධානය කර දැනුවත් කිරීම කලයුතු බව ඔහුගේ අදහස විය.
ග්‍රාමීය ණයගැති බැවින් ජනතාව ගලවාගත හැකි ක්‍රමය ඉතිරිකිරීමට ජනතාව පෙළඹවීම බව ඔහු තරයේ විස්වාස කළේය.
ලෝක ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබඳව ඔහුටද තිබූ දැනුම අදහා ගත නොහැකි තරම්ය. කිතුනු දේව ධර්මය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන සමහර අදහස් එම විෂය පිළිබඳව ආචාර්ය උපාධි ලබා සිටින කතිකාචාර්යවරුන්ට පවා අදහා ගත නොහැකි මට්ටමක පවති.
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිර්මාණකරණය කිරීමේදී ඔහු නම් සැබෑ හපනෙකි.
මේ සියල්ලටම වඩා ආරංචි රාළ ඔහු තුළ දකින විශේෂත්වය වන්නේ ෂෙල්ටන් පීරිස් නම් ව මේ පුද්ගලයා සැමවිටම යථාර්ථය සමඟ ජීවත්වීමට දරන වෑයමයි.
සැබවින්ම ඔහු පිළිබඳව මේ සටහන ලියන්නට පටන් ගත් ආරංචි රාළට දැන් හැඟෙන්නේ සියුම් පරාජිත හැඟීමකි. මක්නිසාදයත් මහා සාගරයක් වන් මිනිසකු පිළිබඳව මෙවන් කෙටි සටහනක් ලිවීමට දරන වෑයම තුලින් ඔහු පිළිබඳව සැබෑ අගය කිරීමක් කිරීමට හැකිවේදැයි ආරංචි රාළට ප්‍රශ්නාර්ථයක් මතුවී ඇති නිසාය.
කෙසේ වෙතත් මෙය නම් සටහන් කළ යුතුවම ඇත. " ෂෙල්ටන් පීරිස්, නැතිනම් ආදරණීය ජෙරී අයියා... සැබවින්ම ස්නාවක ජුවාම් වැනි වූ පුද්ගලයකි, ඔහු මාර්ගය නිවැරදිව දකියි, අන් අය වෙනුවෙන් මාර්ගය පිළියෙල කරයි"
අතීතයෙන් ලද උරුමය
තුරුළ කොට
නොලැබෙන උණුසුමක සිහිනය අවදි කොට
වෙහෙසින් පෙලී
වැල්ලේ නිල් අහස යට
ධීවර ජීවිතය සැනසෙයි
මොහොතකට .......
එය ඔහු රචනා කර අධ්‍යක්ෂණය කළ හෙළෙයියා නම් වූ කෙටි වේදිකා නාට්‍යයේ තේමා ගීතයයි! ආරංචි රාළ මේ මහා පුරුෂයාට සුබ උපන්දිනයක් පතයි.
ආරංචි රාළ: 2025.06.15. : 117 වන දිගහැරුම
Comments
Post a Comment