"අවි ගත්තෝ අවියෙන්ම නැසෙති"ශුද්ධවූ බයිබලය
නායක පූජකයින්ගේ නියෝගයකට අනුව ජේසුස් වහන්සේව ජුදයින් විසින් අනීතික ලෙස තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කළ එම තීරණාත්මක රාත්‍රියේ ගෙත්සෙමනි උයනේ උන්වහන්සේ සමග සිටි ශ්‍රාවකයන් ගෙන් කෙනෙක් වූ සීමොන් පේදුරු තම ඉනේ ගසාගෙන සිටි කුඩා කඩුව අතට ගෙන ජේසුස් වහන්සේව අල්ලා ගැනීමට පැමිණි එක් මැරවරයෙකුගේ කන කපා දැමුවේය. ජේසුස් වහන්සේ මේ දුටු විගස පේදුරු දෙස හැරී මෙසේ කී බව ශුද්ධවූ ලියවිල්ලේ සදහන් වෙයි.
"පේදුරු නුඹේ කඩුව කොපුවේ දමාගන්න, කඩු ගත්තෝ කඩුවෙන්ම නසී"
අපේ රටේ පසුගිය දින කීපය තුළ සිදුවූ බොහෝ ඝාතන පිළිබඳව සරල විමර්ශනයක් කරන කෙනෙකුට මේ සත්‍යය ඉතා හොඳින් අවබෝධ කරගත හැකිය.
ආරංචි රාළ සරසවි සිසුවකුව සිටි 1983 කාලයේ අන්තර් විශ්ව විද්‍යාල සංස්කෘතික තරගාවලියකදී කථික තරගයක් සඳහා ඉදිරිපත් වූ අතර ඉදිරිපත් කළ යුතුව තිබූ කතාවේ මාතෘකාව වූයේ "නිරායුධකරණය යුද්ධය සහ සාමයයි". තරඟය සඳහා නීති විද්‍යාලයේ මෙන්ම විශ්ව විද්‍යාල වල නීති පීඨවල සිසු සිසුවියන් ද ආරංචි රාළ සමග මෙම කථික තරගයට සහභාගි විය. කථික තරඟ විනිශ්චය කිරීම සඳහා පැමිණ සිටියේ ගරු මර්සලින් ජයකොඩි පියතුමා, මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු විද්වතුන් පිරිසකි. කෙසේ හෝ මෙම තරගාවලියේ පළමු ස්ථානය හිමිවූයේ ආරංචි රාළට ය. ප්‍රථම ස්ථානය ආරංචි රාළට හිමිවීම ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න තරගාවලිය අවසානයේ ප්‍රතිඵල නිකුත් කරමින් පැවසුවේ මෙවැනි දෙයකි.
"විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව මෙම කථික තරඟයේ පළමු ස්ථානය හිමිකර ගන්නා සිසුවාට එම ස්ථානය ලැබීමට ප්‍රධානම හේතුව වන්නේ ඔහු නිරායුධකරණය පිළිබඳව කතා කිරීමේදී, යුද්ධය ගැන හෝ ඒ සඳහා භාවිතා කරන අවිආයුධ ගැන වචනයක් හෝ සඳහන් නොකිරීමයි. ඔහු සැම විටම කතා කළේ මිනිසුන් තුළ ගොඩනැගී ඇති සැකය සහ බිය පිළිබඳවයි. අනිත් අය පිළිබඳ සැකය මෙන්ම තමන් පිළිබඳව බියක් කෙනෙකු තුළ ඇති වෙන්නේ ඔහු හෝ ඇය තුළ තමන් පිළිබඳව තිබිය යුතු ආත්ම විශ්වාසය නැතිවී යන විටකය. ලෝකය පුරා යුද්ධ ආරම්භ කර ඇත්තේ තමන් පිළිබඳව ආත්ම විශ්වාසයක් නැති, ලෝකය පිළිබඳව ගිහින් සහ සැකයෙන් ජීවත්වන මිනිසුන්ය. එබැවින් ප්‍රශ්නය තියෙන්නේ ආයුධ වල නොවේ ඒවා රැස්කරන මිනිසුන්ගේ සිත් තුලය ."
මනුෂ්‍යයා සාමූහික සත්වයෙකි. සාමූහික ජීවිතයකට අතිශයින් වැදගත් වන කරුණක් වන්නේ කෙනෙකුට තමන් පිළිබඳව ඇති ආත්ම විශ්වාසයයි. කිතුනුවන් විශ්වාස කරන දෙවියන්ගේ ප්‍රතිරූපයට මිනිසා මැවීම යන්නෙහි සරල අදහස වන්නේද කෙනෙකුට තමන් පිළිබඳව ආත්ම විශ්වාසයෙන් ජීවත්වීමට ඇති ශක්තිය තිබීමයි.
තමන් පිළිබඳව ආත්ම විශ්වාසය ගිලිහෙන හැම විටකම මිනිසුන් තමන් තුළ නැති ශ්‍රේෂ්ඨත්වයක් තමන් වෙත ආරෝපණය කර ගැනීමට උත්සාහ කරයි.
සාධාරණත්වයේ දෙවියන් වහන්සේ එක් ජාතියක් උසස් යයිද, තවත් ජාතියක් පහත් යයිද සැලකුවේ නැත. එබැවින් මිනිස් සංහතියේ පැවැත්ම තුළ දෙවියන් වහන්සේ විසින් කිසිදු ජාතියක් සුවිශේෂී ලෙස තෝරා ගත්තේ ද නැත. එබැවින් තමන් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ ජාතිය යයි උදම් අනින , මිත්‍යාවක සිරවී සිටින ඊනියා සියෝන් වාදීන් තමන් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති ජාතියකි.
ජුදයින් ව සමූල ඝාතනය කළ යුතු යැයි හිට්ලර් තීරණය කළේ ඇයි දැයි ලෝකය නැවත කියවිය යුතුව ඇත. හිට්ලර්ට අනුව, ලෝකය තුළ බිහි වූ අතිශයින්ම විනාශකාරී ජාතියක් ලෙස ඔහු ජුදයින්ම නම් කළේ ඇයි දැයි අධ්‍යයනය කිරීමට කාලය පැමිණ ඇත.
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය ආක්‍රමණය කරමින් කළ ඝාතන සහ පැහැර ගැනීම් ආරංචි රාළ අනුමත කරන්නේ නැත. එහෙත් එය හුදකලා සිදුවීමක් නොවන බව තහවුරු කළ යුතුය.
තමන්ගේ ආයුධ බලය යොදා ගනිමින් ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු බටහිර ජාතීන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව හමාස් සංවිධානය පරාජය කිරීමට ආරම්භ කළ යුද්ධය ජයග්‍රහණය කිරීමට ඊශ්‍රායලයට තවම හැකි වී නැත. එහෙත් ගාසා තීරයේ ජීවත් වූ පලස්තීනය වැසියන් පනස් දාහකට අධික සංඛ්‍යාවක් අමු අමුවේ ඝාතනය වූ අතර එයින් දස දහසකට වැඩි පිරිසක් අහිංසක කුඩා දරුවන්ය.
වෙනත් කෙනෙකුගේ භූමියක් බලෙන් අත්පත් කරගන්නා ඕනෑම කෙනෙකුට නියත වශයෙන්ම ජීවත්වන්නට වන්නේ බියෙන් සහ සැකයෙන් යුතුවය. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් තම අසල්වැසියන්ට දිනෙන් දින පහරදීමට ඊශ්‍රායලය කටයුතු කරන්නේ ඒ නිසාය.
මේ යුද්ධයෙන් කවුරුන් දිනන්නේ දැයි ආරංචි රාළ දන්නේ නැත. එහෙත් ප්‍රථමයෙන් ආයුධ අතට ගත්තෝ ප්‍රථමයෙන් විනාශයට පත්වන බව නියතය. අපි අද එම සත්‍යය අපගේ දෑස් ඉදිරියේ අත්දකිමින් සිටින්නෙමු.
ආරංචි රාළ ; 2025.06.20. 119 වන දිගහැරුම
Comments
Post a Comment