දේශබන්දුගෙන් පටන් ගෙන, සිරගත කළ යුතුම පාදඩ දේශපාලන සංස්කෘතිය!

ආරංචි රාළ පුද්ගලයන් ඉලක්ක කරගෙන විවේචනය කරන්නෙ  හෝ චෝදනා එල්ල කරන්නෙ  නැත. එහෙත් මේ දේශබන්දු තෙන්නකෝන් ගැන නම් යමක් නොකියාම බැරිය. ආරංචි රාළ ලියන මේ සටහන සැබවින්ම ඔහු පමණක් නොව ඔහු සෘජුවම නියෝජනය කරමින් පෙනී සිටින  පාදඩ සහ ජඩ දේශපාලන කණ්ඩායම් විසින් මේ රටතුල නිර්මාණය කළ අශිලාචාර දේශපාලන සංස්කෘතිය පිළිබදවය.

2022 පැවති අරගලයේ එක්තරා තීරණාත්මක දිනයකදී රාජපක්ෂලාගේ බිද වැටෙමින් තිබූ දේශපාලන අධිරාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ අවසාන පියවරක් ලෙස අරගලයට රාජපක්ෂලාගේ මැරවරයින් ලවා පහරදීම පිටුපස දේශබන්දු තෙන්නකෝන් සිටි බව කිසිවෙකුට රහසක් නොවේ.  ඔහු සිටියේ පොලු අතැතිව  අරගලකරුවන්ට පහරදුන් මැරයින් සමගය.

ඒ පිළිබඳව ඇසින් දුටු සාක්ෂි තිබුණත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පලා ගිය ගෝඨභය රාජපක්ෂ වෙනුවට අනුපාත්‍රික ජනාධිපතිවූ රනිල් වික්‍රමසිංහ කිසිම උත්සාහයක් දැරුවේ නැත. එ පමණක් නොව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකට ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරුවකු කරන ලදුව තිබියදීත් දේශබන්දුව  මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සිටින ආයතනයේ ප්‍රධානියා බවට පත් කළේ මේ වන විට ඉතා පැහැදිලි ලෙස 1988/89 කාලවකවානුවේ දහස් ගණනක් තරුණ තරුණියන්ට අමානුෂික වද හිංසා පමුණුවා මරා දැමීමට සහාය දැක්වූවා යයි බටලන්ද කොමිසම විසින් චෝදනා එල්ල කර ඇති රනිල් වික්‍රමසිංහය. ඔවුන්ට අවශ්‍ය උනේ එවන් නරුමයින් විසින් මෙරටේ නිතිය මෙහෙයවා ගැනීමටය.

1977න් පසුව මේ රටේ දේශපාලන බලය කාලයෙන් කාලයට මාරු කරගත්  ජයවර්ධනලා, ප්‍රේමදාසලා, බණ්ඩාරනායකලා රාජපක්ෂලා, සිරිසේනලා  සහ වික්‍රමසිංහලා ජනතාව විසින් තමන්ට ලබා දුන් බලය කිසිදු හිරිකිතයක් නැතුව තමන්ට ඕනෑ ආකාරයට පාවිච්චි කළේ තමන්ගේ අම්මාලා අප්පලා  ඔවුන්ට ලබා දුන් බූදලයක් ලෙස සිතාගෙනය.

නීතියේ ආධිපත්‍යය සත පහකට මායිම් නොකළ ඔවුහු එය රකින ආයතනයට  තමන් කියන ඕන දේකට බලු කුක්කෙකුසේ සේ නගුට වනමින්   එකගවන   දේශපන්දු තෙන්නකෝන් පත් කරගත්තේ ඒ නිසාය.

පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය  මේ රටේ පොලිසිය සහ නීතියේ ආධිපත්‍යය කෙලෙසා දැමූ දේශබන්දුව අත්අඩංගුවට ගන්නයි නියෝගයක් නිකුත් කළේය.  එහෙත් නීතියේ මුර දේවතාවයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් තමා ප්‍රධානියාවී සිටි පොලිසියට ඇස් වසා  සැඟවී සිටියේය.

ආණ්ඩුව ඔහුව ආරක්ෂා කරනවා යයි මඩ ප්‍රචාර නිකුත් කරන්නට ඒ අතර කණ්ඩායමක් ඉදිරිපත් වී සිටියේය. අවසානයේ දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට සිදුවිය. අනතුරුව තෙන්නකෝන් රිමාන්ඩ් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. මේ වනවිටත් පැහැදිලි ලෙසම අපරාධකාරයෙක් බව ඔප්පුවී ඇති දේශබන්දුව බේරා ගැනීමට නීතිඥවරු විශාල පිරිසක් කොළඹ සිට මාතරට  දිවගියහ. ඔවුන්ට ගෙවීම් කිරීමට දේශබන්දුගේ රැකවරණය යටතේ කළු සල්ලි හම්බකරගත් දේශපාලකයෝ සිටිනා බව ආරංචි රාළ දනියි.

ආරංචි රාළට ඇති තොරතුරුවලට අනුව නම් මේ තරම් ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙකු රිමාන්ඞ් භාරයට පත් කළ ප්‍රථම අවස්ථාව මෙය විය හැකිය.

එසේ නම් ජාතික ජන බලවේගයේ නීතියේ ආධිපත්‍යය රැකීමට ලබා දුන්  පොරොන්දුව දැන් ප්‍රයෝගිකවම ක්‍රියාත්මක කරමින් සිටියි.එහිදී ඔහු හෝ ඇය දරාසිටි හෝ දරමින් සිටින තනතුර වැදගත් වන්නේ නැත. ජනතාව විසින් තමන් වෙත ලබාදුන් බලය තමන්ගේ බුදලයක්  ලෙස පාවිච්චි කළ සියල්ලන්ටම දැන් සුළු දිය පහ වෙන්නට පටන් ගෙන ඇති බව ආරංචි රාළ දනියි.

ආරංචි රාළ - 2025 .03. 20; 67 වන දිගහැරුම

 

 

 

Comments

Popular posts from this blog