ජාතික තරුණ සේවා සභාවේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද?

රිද්ම ෆොන්සේකා, විධායක ලේකම් පමුණුගම
තරුණ ක්‍රිස්තියානි සංගමය (YMCA )

 

කෝප් කමිටුව විසින් සිදු කරන විමර්ශනයකට අනුව ජාතික තරුණ සේවා සභාව විසින් තරුණ සංවර්ධනය වෙනුවෙන් වෙන්කර තිබු අති විශාල මුදල් සම්භාරයක් රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ඇති බව හෙළි වේ. රනිල් වික්‍රමසිංහ පමණක් නොව ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව තේරී පත්වූ ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග සහ  මෑත කාලයේදී මහින්ද රාජපක්ෂද ජාතික තරුණ සේවා සභාව පාවිච්චි කළේ තමන්ගේ පක්ෂයේ බලය තහවුරු කර ගැනීම සඳහා තරුණ තරුණියන් තමන් වටා කැඳවා ගැනීම පිණිසය. තාරුණ්‍යයට හෙටක් කියාගෙන නටපු නාඩගම් ආරංචි රාළට හොදට මතකය.

මේ වනවිට ජාතික ජන බලවේගය මේ රටේ දේශපාලන බලය අත්පත් කරගෙන ඇත. තරුණ කටයුතු සහ ක්‍රීඩා පිළිබඳව පිළිබඳ ඇමතිවරයෙක් ද, තරුණ කටයුතු සඳහා වෙනම නියෝජ්‍ය ඇමතිවරයකු ද පත්කර ඇත.  ආණ්ඩුවේ පූර්ණ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක කරන තරුණ කටයුතු මෙහෙයවීම සඳහා ප්‍රධාන ආයතන දෙකක් ඇති අතර එයින් ප්‍රධාන වන්නේ වන්නේ තරුණ සේවා සභාවයි. ආරංචි රාළගේ දැනුමේ හැටියට මෙම තරුණ සේවා සභාව සහ එහි කටයුතු මෙහෙයවීම සඳහා අදාල ඇමතිවරයා විසින් පාලක මණ්ඩලයක් පත්කරනු ඇත. ඒ අනුව, මේ වන විට  තරුණ සේවා සභාවට සභාපති/අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඇතුළුව  අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර ඇත. ආයතනයක් පවත්වාගෙන යාම සදහා එවැනි ව්‍යුහයක් තිබිය යුතුය.

තරුණ සංවර්ධනය ප්‍රජා මූලික විය යුතු බව: කෙසේ වෙතත්, වසර ගණනාවක ග්‍රාමීය ප්‍රාදේශීය ජාතික සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ පැරණිතම තරුණ සංවිධානයක් වන තරුණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA ) විධායක ලේකම්වරයකු වන රිද්ම ෆොන්සේකා  විසින් ඉදිරිපත් කර ඇති මේ අදහස ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුයැයි ආරංචි රාළ තරයේ විස්වාස කරයි.

තරුණ සේවා සභාවේ වගකීම සහ කාර්යභාරය:  තරුණ සේවා සභාව  වැනි රාජ්‍ය ආයතනවල වගකීම සහ කාර්යභාරය පිළිබඳව අලුතෙන් සිතා බැලීමට කාලය එලබී ඇත. සියල්ල තමන් විසින්  සිදු කළ යුතු යැයි සිතන මානසිකත්වයෙන් ඔබ්බට ගොස් ජාතික ප්‍රතිපත්තියකට අනුව සියලු දෙනා ඒකරාශී කරගෙන තරුණ සංවර්ධනයක් සඳහා පහසුකම් සැපයීම මුල් කරගත් වැඩපිළිවෙලක අවශ්‍යතාව අපි දකින්නෙමු.

දියුණු රටවල් වල උපක්‍රමයන්: ලෝකයේ බොහෝ දියුණු රටවල් තරුණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා විවිධ උපක්‍රමයන් භාවිතා කරයි.  උදා; කැනඩාව සහ ජර්මනිය වැනි රටවල් රජයට ඍජු සම්බන්ධයක් නොමැති ප්‍රජා මූලික තරුණ සංවිධානය ශක්තිමත් කරමින් ඒවා හරහා තරුණ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කරයි.  මෙහිදී එම රටවල රාජ්‍ය මැදිහත්වීම සිදුවන්නේ ප්‍රතිපත්ති සැකසීම, ප්‍රමිතියන් පවත්වාගෙන යෑම සහ  සිදු කරනු ලබන ආයෝජනයන්හි ප්‍රගතිය නියාමනය සහ ප්‍රතිඵලය අධීක්ෂණය කිරීමටයි. 

සියලූම තරුණ සංවර්ධනය වෙනුවෙන් වන රාජ්‍ය අරමුදල් රාජ්‍ය ආයතන තුළ තබා ගැනීම වෙනුවට නිර්ණායකයන් සහ ජාතික ඉලක්කයන්ට යටත්ව ස්වාධීන තරුණ සංවිධානවලට රජයේ ප්‍රතිපාදන සඳහා අයදුම් කිරීමට ඉඩකඩ සලසා දිය යුතුය. මේ තුළින් විවිධ කලාපවල විවිධ ක්ෂේත්‍රයන්හි තරුණයන්ගේ අවශ්‍යතා ඉලක්ක කර ගනිමින් වැඩසටහන් සැලසුම් කර ඇති බවට සහතික කිරීමට උපකාරී වනු ඇත.

මෙවැනි ක්‍රමවේදයක් තුළින් රට පුරා කිසිදු අරමුණකින් තොරව මුදල් නාස්ති කරන තරුණ වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම වෙනුවට විනිවිදභාවය සහ වග වීම තහවුරු කරමින් ජාතික ඉලක්කයන් කරා තරුණ කටයුතු විවිධ සංවිධාන හරහා ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කිරීම සහ ඒවා ඇගයීමේ බැරෑරුම් කාර්යභාරය පමණක් රාජ්‍යය ආයතන වන  ජාතික තරුණ සේවා සභාව විසින් සිදුකළ යුතුය.

 ආරංචි රාළ  -  2025 . 03.  03 - 55  වන දිගහැරුම

 


Comments

Popular posts from this blog