විමුක්ති අරගළයේ ජුදාස් ස්කාරියොත්. ඔහු, නැවත කියවියයුතු චරිතයක්!
මුස්ළිම් භක්තිකයන්ගේ රාමදාන් සමයද, කිතුණුවන්ගේ චතාරික සමයද එළඹ තිබේ. මේ සමය තුළ කිතුණුවන් සිහිපත් කරන චරිත අතර ජුදාස්ද වේ. ඔහුගේ චරිතය වර්ණවත් කර ඇත්තේ මුදලට ලෝභකමින් ජේසුතුමාව නායක පූජකයන්ට පාවා දුන් දුෂ්ඨයා ලෙසය.
ජනප්‍රවාදයන්ට අනුව ජේසුතුමා සහ ශ්‍රාවකයන්ගේ අවශ්‍යතා සඳහා වැය වූ මුදල් පරිහරණය කළ පුද්ගලයා ඔහුය. එය හුදෙක් ඔහු මුදලට කෑදරයකු බව කියාපෑමට ගෙතු කතාවක් විය හැකියි. මේ කරුණ සනාථ කරණ සාක්ෂි ද නැත.
තමන් වෙත රැස් වන සෙනඟට ආහාර දිය යුතු බව ජේසුතුමා පවසන්නේ ශ්රාවකයන්ටය. එතරම් සෙනගකට ප්‍රමාණවත් කෑම සපයා ගැනීමට නම් කෑම මිළට ගත යුතු යැයි පවසන්නේ ද ශ්‍රාවකයන්ය. තවත් අවස්ථාවකදී සෙනගට කෑම සැපයීමට එක් මිනිසෙක් මාස අටක් වැඩ කර උපයන මුදලට සමාන මුදලක් අවශ්‍ය බව ශ්‍රාවකයෝ පවසති. ජුදාස්ගේ නම මේ කිසි අවස්ථාවක කියැවෙන්නේ නැත.මේ කාලය වන විට ජුදා ජාතිකයින්ගේ ප්‍රාර්ථනය වූයේ තම ප්‍රදේශය රෝම අධිරාජ්‍යයෙන් මුදා ගැනීමට නායකයෙකුගේ පහළ වීමයි. ජේසුතුමාගේ ශ්‍රාවකයන් තුළද මේ පැතුම නිසැකවම තිබුණි.
අනෙක් ශ්‍රාවකයන් පවා මේ ඉගැන්වීම ගැන දෙගිඩියාවෙන් සිටින්නට ඇත. ඔවුන්ගේ ලෞකික රාජ්‍යය පිළිබඳ බලාපොරොත්තුව ඉස්මතු වන අවස්ථාවක් වූයේ, ජේම්ස් සහ සහ ජුවාම්ට, පිහිටුවීමට බලාපොරොත්තු වන රාජ්‍යයේ ජේසුතුමාගේ අසුන දෙපස ප්‍රධාන තනතුරු ලබා දෙන්නැයි ඔවුන්ගේ මව කරන ඉල්ලීමයි.
ඊශ්‍රායෙල් රාජධානිය නැවත පිහිටුවීමට ජේසුතුමා බලාපොරොත්තු වන්නේදැයි ශ්‍රාවකයන් කළ විමසීමද සැළකිල්ලට ගත යුත්තකි (ක්‍රියා 1). ශ්‍රාවකයන් තමන් ළඟ ආයුධ තබාගෙන සිටියේද එවැනි අරමුණක් තිබුණු නිසාය (ලුක් 22 : 49).
ජෙරුසෙලමට ජනතා පාගමනකින් ජේසු තුමාව කැඳවාගෙන ඒම ජුදාස් ඇතුළු පිරිසගේ අමන්දානන්දයට හේතු වූවත්, ඉන් දින කිහිපයට පසු, ජේසුතුමා තම අවසානය - වධ විඳීම හා මරණය ගැන ප්‍රකාශ කිරීමත් සමඟ ඔවුන් පැතූ ලෝකය බිඳ වැටෙන්නට ඇත.
මේ තත්ත්වය යටතේ විමුක්ති අරගළය පිළිබඳව යුදෙව්වන් තුළ වූ උද්යෝගය බිඳ වැටීමට ඉඩ තිබුණි. එය රැක ගැනීමට නම් කළ යුතුව තිබුණේ ජේසුතුමාව දර්ශනයෙන් ඉවත් කිරීමය. ජුදාස් මේ සඳහා සැළසුම් කළ උපාය වූයේ නායක පූජකයන් ලවා ජේසුතුමා සිර අඩස්සියේ තැබීම වැනි දෙයකි.ඔහු මුදලට ගිජු වී තම ගුරුතුමාව පාවා දීමක් කළේ යැයි නොසිතෙන්නේ, මුදල් දීම පූජකයන්ගේ යෝජනාවක් වූ නිසාය.
ජේසු තුමා සමඟ වෛරයෙන් පසු වූ පූජකයන් ජුදාස්ගේ සැළසුමට අනුව නොව ඔවුන්ගේම වූ සැළැස්මක් ක්‍රියාත්මක කරතැයි ජුදාස් නොසිතන්නට ඇත. ඔහු දිවි නසා ගන්නේද ජේසුතුමා මරණයට තීන්දු වීමෙන් පසුවය. මන්ද, ඔහුඑය බලාපොරොත්තු වූ දෙයක් නොවීය. ජුදාස් මුදලට ගිජු පුද්ගලයෙක් නම් රිදී තිහක් ලැබී තිබියදීත් දිවි නසා ගන්නේ කුමටද ?
ඔහුගේ අරමුණ ඉතාමත් පැහැදිළිය. ඒ බව ඔහුගේ අවසාන වචන තුළින් පෙනේ : "මම වරදක් නොකළ අයකුගේ ලේ පාවා දුන්නෙමි ".
ආරංචි රාළ
ෂෙල්ටන් පිරිසගේ සටහනකි .
2025 .03. 15 /64 වන දිගහැරුම
Comments
Post a Comment