බලයෙන් හිස උදුම්මාගෙන උමුතුවූ පාලකයෝ මේ රටේ නීතිය කෙලෙසා දැමූහ.

රනිල් වික්‍රමසිංහ විසින් තමන් බලයට පත් කළ දූෂිතයින් සහ වංචාකාරයන් ආරක්ෂා කර ගැනීම සඳහා පත් කළ පොලිස්පතිවරයා මේ වන විට අධිකරණයක් විසින් වහාම අත්අඩංගුවට ගත යුතු යැයි නියෝග කර ඇති තැනැත්තෙක් බවට පත්ව ඇත.

 1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් තිබුණත්  සමස්ථ ඡන්ද  සංඛ්‍යාවෙන් ලැබී තිබුණේ සියයට 51% ආසන්න ප්‍රමාණයක් පමණි.  එහෙත් පාර්ලිමේන්තු බහුතරය උපයෝගී කරගෙන ජේ.ආර්.ජයවර්ධන විධායක ජනාධිපතිධූරය සහිත ව්‍යවස්ථාව සම්මත කරගත්තේය.

 "ගැහැණියෙක්  පිරිමියෙක් කිරීම හෝ පිරිමියෙක් ගැහැණිය කිරීම හැර අන් ඕනෑ දෙයක් කල හැකියැ" යි, තම  ඒකාධිපති ව්‍යවස්ථාව ගැන උදම් ඇනූ  ජේ ආර් ජයවර්ධනට අවසානයේ බලය අතහැර යන්නට වූයේ "තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්නයි ජනතාවට කියන ගමන්ය.

ඉන් අනතුරුව ජනාධිපති පදවියට පත්වූ ආර්. ප්‍රේමදාස විධායක බලතල පාවිච්චි කරමින් නැටු නාඩගම් ආරංචි රාළට හොදට මතකය.

අති විශාල ජනතා සහ සිවිල් සමාජ විරෝධයක් මධ්‍යයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය, නීති විරෝධී කටයුතු ගණනාවකට සම්බන්ධව සිටි සරත් එන් සිල්වා අගවිනිසුරුවරයා ලෙස පත්කලේ තමාගේ ජනාධිපති, බළතල වලින් හිස උදුම්මවා ගෙනය.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට කළ හැකි සෑම පත්වීමක්ම කළේ ජනාධිපතිවරයා ලෙස තමාට ඇති බලතල හිතුවක්කාර ලෙස භාවිතා කරමිනි.


මෙම ක්‍රියාවලියේ අතිශයින්ම ජුගුප්ස්තා ජනක අවස්ථාව වන්නේ මුළු රටම දැඩි සේ විරෝධතාවක් දක්වමින් සිටි මොහොතක  අනුප්‍රත්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමයි.  එම පත්වීම කරන විට තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරැදිකරුවෙකු කරනු ලැබුවෙකි. ඊට අමතරව ඔහුට විරුද්ධව තවත් නඩු කිහිපයක්ම තිබුණි.

එහෙත්  මේ කිසිවක් තඹ සතයකට මායිම් නොකර රනිල් වික්‍රමසිංහ මේ රටේ නීතියේ ආධිපත්‍යයට  අභියෝග කරමින් එම පත්වීම කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහාධිකරණ විසින් මරණ දඩුවම නියම කර සිටි ඔහුගේ දේශපාලන හිතවතෙකුවූ දුමින්ද සිල්වාට විශේෂ ජනාධිපති සමාවක් ලබා දුන්නා පමණක් නොව ඔහුව රජයේ ආයාතනයක් වූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කළ  අතර   තමන්ගේ වචනය ආණ්ඩුවේ චක්‍ර ලේඛනය වන බව  ප්‍රකාශ කිරීමට තරම් බලයෙන් මත්වී සිටියේය.

ඔවුන් සියල්ලෝම ජනාධිපතිධූරය  තමන් වෙත කේන්ද්‍ර කර දුන් අසීමිත බලතල වලින් උඩගුවට මෙන්ම උමතුවට  පත්ව සිටියහ.

වත්මන් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයක් තිබෙන ආණ්ඩුවට නායකත්වය දෙන අනුර කුමාර දිසානායක සහෝදරයා මේ වන විට තමන් විසින් කර ඇති සෑම පත්වීමක්ම පවතින ව්‍යවස්ථාමය රාමුව තුළ කර  ඇති අතර අප එය පැසසුමට ලක් කළ යුතුය. ව්‍යවස්ථාවට ගරු කිරීම පටන් ගත යුත්තේ රටේ නායකත්වයේ සිටය. 

රනිල් වික්‍රමසිංහ විසින් තමන් බලයට පත් කළ දූෂිතයින් සහ වංචාකාරයන් ආරක්ෂා කර ගැනීම සඳහා පත් කළ පොලිස්පතිවරයා මේ වන විට අධිකරණයක් විසින් වහාම අත්අඩංගුවට ගත යුතු යැයි නියෝග කර ඇති තැනැත්තෙක් බවට පත්ව ඇත. එපමණක් නොවේ, කාලයක් තමා ප්‍රධානියාව සිටි පොලිසියේ අත්අඩංගුවට පත්වීමට බියෙන් සැඟව සිටින්නෙකි. සැබවින්ම දැන් ඔහු; Wanted Person  කෙනෙකි.  එවැනි පුද්ගලයෙක් පොලිසියේ නායකත්වය දැරූ කාලයේ සැබවින් වී සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට වෙනම විමර්ශන කණ්ඩායමක් යෙදුව යුතුව ඇතැයි ආරංචි රාළ යෝජනා කරයි.

 

ආරංචි රාළ

 

2025 . 03.  05 - 58  වන දිගහැරුම

 

Comments

Popular posts from this blog