වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන වලට  හුදු පුද්ගල කේන්ද්‍රීයව කරන විවේචන වලින් ඔබ්බට දිවෙන පුළුල් විමර්ශනාත්මක දෘෂ්ටියක්  තිබිය යුතුය!

ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කරන දුමින්ද හුළංගමුව එම තනතුරින් ඉවත් කරන්නැයි වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා ඔස්සේ ආරංචි රාළට දැනගත්තේය.

එම ඉල්ලීම කරන ලිපියට අත්සන් කර ඇති වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන එවැනි ඉල්ලීමක් කරන්නේ දුමින්ද හුළංගමුව මහතාගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශණය කරමින් බව පෙනේ. ලිපිය යොමුකර ඇති කණ්ඩායම මුදල් ලේකම්  මහින්ද සිරිවර්ධන ඉල්ලා එම තනතුරින් ඉල්ලා අස්වීමට නියමිත බවත් එසේ වුවහොත් එම තනතුරට දුමින්ද හුළංගමුව පත් නොකළ යුතු බවටද ජනතිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇත.

මෙම ඉල්ලීම කරන වෘත්තිය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක සාමාජික සාමාජිකාවෝ සෘජුවම ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවීම සඳහා කිසියම් නිශ්චිත දායකත්වයක් ලබා දුන් බව ආරංචි රාළ හොඳින් දන්නා අතර වෘත්තිය සමිති සහ සිවිල් සමාජ සංවිධාන වලට මෙවැනි ඉල්ලීමක් කිරීම කිසිදු වාදයකින් තොරව පිළිගනියි.

එහෙත් ආරංචි රාළට මෙතනදී ඇතිවන ගැටළුව වන්නේ ඔවූහු මෙම ඉල්ලීම කරන්නේ අතීතයේ සිදුවීම් පදනම් කරගෙන විනා වර්තමානයේ ආර්ථික උපදේශක ලෙස දුමින්ද හුළංගමුවගේ  භාවිතය සැලකිල්ලට ගැනීමක් නොකිරීම පිළිබදවය. 

ජාතික ජන බලවේගය මෙරට ජනතාවගෙන් ජනවරමක් ඉල්ලා සිටියේ ඉතා පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එම වැඩපිළිවෙළට ජනතාවගේ නිශ්චිත අනුමැතිය ලැබී ඇත. ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නායකයෝ එම ඉදිරිපත් කළ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිති. එබැවින් ඔවුන් එම වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කළ හැකි වෘත්තීය දැනුමෙන් සහ අත්දැකීම් වලින් සන්නද්ධ පුද්ගලයින් ආර්ථිකය කළමනාකරණය කිරිමේ ආයතන වල විවිධ තනතුරු සඳහා පත්කළ යුතුය. මෙහිදී ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ නායකයෝ ඉතා පරිස්සමෙන් එම කටයුත්ත කර ඇත.

'පොහොසත් රටක් ගොඩනඟා  ලස්සන ජීවිතයක්' ජනතාවට ලබාදීමට නම් මූලික වශයෙන්ම මේ රටේ ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කළ යුතුමය.

අතීතයේ බොහෝ රාජ්‍ය නිලධාරින් අවංකවම  තමන්ගේ රාජකාරී කටයුතු කිරීමට කැමැත්තෙන් සිටියත් ඉහළින් සිටි ආණ්ඩුවේ නායකයින් ඒ සඳහා ඔවුන්ට අවස්ථාව දුන්නේ නැත. එහෙත් අද තත්ත්වය වෙනස්ය. ජනාධිපතිවරයා ඉතා තීක්ෂණ බුද්ධියකින් යුතුව සියලු කටයුතු කළමනාකරණය කරමින් සිටි.

ජනතාව තමා වෙත ලබා දුන් ජනවරම නිසියාකාරයෙන් මෙහෙයවීම සඳහා ඔහු තුළ පැහැදිලි අවශ්‍යතාවයක් සහ කැපවීමක් ඇත.

එබැවින් මෙම අවස්ථාවේ වෘත්තිය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන කළ යුතුව ඇත්තේ අතීතයේ පුද්ගලයන්ගේ හැසිරීම් දෙස බලා ඔවුන් පිළිබඳව විනිශ්චයන් ඉදිරිපත් කිරීම නොව වර්තමානයේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව ඔවුන්ගේ කටයුතු පිළිබඳව කිසියම් විමර්ශනයක යෙදෙමින් බංකොලොත් වී ඇති මේ රට නැවත ගොඩනැගීමට සහයෝගය දැක්වීමය.

තනි පුද්ගලයෙකුට මෙරට සංවර්ධනය කළ නොහැකි වෙනවා සේම තනි පුද්ගලයෙකුට මේ රට විනාශ කිරීමටද නොහැකිය.  දුමින්ද හුළංගමුවට  හෝ  වෙනත් කෙනෙකුට තවත් ආර්ථික ඝාතකයෙක් වෙන්නට ජාතික ජන බලවේගය ඉඩදෙන්නේ නැති බව ආරංචි රාළට හොදටම විස්වාසය.

පුද්ගල කේන්ද්‍රීයව කරන විවේචන වලින් ඔබ්බට දිවෙන පුළුල් විමර්ශනාත්මක දෘෂ්ටියකින් මේ රට ගමන් කරන මාර්ගය දෙස බලන්නයි ආරංචි රාළ මේ රටේ වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධානවලට මතක් කරන අතර මේ තීරණාත්මක පැයේදී හුදු විරෝධාත්මක යොමුවකින්  ඔබ්බට දිවෙන සමාජ මෙහෙවරක නිරත වෙන්නයි වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන වලට ආරංචි රාළ අවධාරණය කර සිටයි.

ආරංචි රාළ - 2025 .03. 31 -  74 වන දිගහැරුම

 

 

 


  

Comments

Popular posts from this blog