1962 කුමන්ත්‍රණයේ අඳුරු සෙවනැලි

කුමන්ත්‍රනය සිදුවන විට අගමැතිනිය
 සිරිමාවෝ බණ්ඩාරනායක
 

1948 න් පසු මෙරට රාජ්‍ය නායකයන් එකොළොස් දෙනෙකුගේ නායකත්වය යටතේ ආණ්ඩු පිහිටුවා ඇතත් රජය පෙරළීමේ කුමන්ත්‍රණ සිදුවූයේ බණ්ඩාරනායක ආණ්ඩු දෙකට එරෙහිව පමණකි. මෙරට දේශපාලන ඉතිහාසයේ සිදුවූ බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට පසුව රාජ්‍ය පෙරළීමේ කුමන්ත්‍රණයක් සිදුවූයේ 1962 දීය.

හමුදා කුමන්ත්‍රණයක් වූ මෙයට සම්බන්ධ වූවන් අතරින් එක් සිවිල් නිළධාරියෙක්, හමුදාවේ කර්නල් තනතුරු දැරූ අය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු 24 දෙනෙක් වූහ. ඔවුන්ගේ සැළැස්මේ අංක එක වී තිබුණේ අගමැතිනිය සිර භාරයට ගැනීමය.

එහෙත් කුමන්ත්‍රණයට පෙර දින රාත්‍රියේ ඒ පිළිබඳව තොරතුරු පොලිස් පොලිස් නිලධාරියෙකු (ස්ටැන්ලි සේනානායක) මගින් දැනගත් අගමැතිණිය වහා ක්‍රියාත්මක වී කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වූවාය.

කුමන්ත්‍රණය පිළිබඳව  රජයට 
තොරතුරු දුන් 
ස්ටැන්ලි සේනානායක,
ඔහු සමගි පෙරමුණ
රජයේ පොලිස්පති විය
.

කුමන්ත්‍රණය අසාර්ථක වීමට ප්‍රධාන හේතු දෙකක් බලපෑවේය:

1.පොලිස් නිළධාරියාගේ දැනුම්දීම.

2.කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කළ දිනය වූ  1962 ජනවාරි 27 දින අගමැතිනිය කතරගම යෑමට යොදා ගෙන තිබුනත් ඇගේ ලේකම්වරයාගේ ඉල්ලීම උඩ ඇය ඒ ගමන අවලංගු කර තිබුණාය.

27 දින උදෑසන වන විට කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

කුමන්ත්‍රණකරුවන් අතර කර්නල් ෆෙඩ්රික් ද සේරම්, කර්නල් මොරිස් ද මෙල්, රියර් අද්මිරාල් රොයිස් ද මෙල්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීසී දිසානායක,  නියෝජ්‍ය‍ පොලිස්පති සිඩ්නි ද සොයිසා සහ ඩග්ලස් ලියනගේ (සිවිල් සේවයේ) යන අය වූහ.

නඩු විභාගය අවසානයේදී විත්තිකරුවන්ට වසර 10 බැගින් සිරදඬුවම් නියම වූ අතර දේපළද රාජ සන්තක කිරීමට තීන්දු විය.

ඒ වන විටත් ලංකාව බ්‍රිතාන්‍යයේ ඩොමිනියන් රජයක් ලෙස පැවතීම නිසා විත්තිකරුවෝ මෙම තීන්දුවට එරෙහිව බ්‍රිතාන්‍යයේ ඉහළ අධිකරණයට (ප්‍රිවි  කවුන්සිලයට අභි යාචනයක් ඉදිරිපත් කළහ. ප්‍රිවි කවුන්සිලය 1965 දී විත්තිකරුවන් සියලු දෙනාම නිදහස් කළේය.

 ජේ. ආර්. ගේ සහෝදරයා වූ එච්.ඩබ්. ජයවර්ධනද විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. ඩග්ලස් ලියනගේ පසුව ජේ. ආර්. ආංඩුවේ අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස පත්කරගනු ලැබීය.සැකයට භාජනය වූ අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක තම ධූරයෙන් ඉල්ලා අස්වී එංගලන්තයේ පදිංචියට ගියේය.

සැකයට භාජනය වූ අග්‍රාණ්ඩුකාර
ඔලිවර් ගුණතිලක

කුමන්ත්‍රණය පිටුපස සිටි සැබෑ නායකයන් හෙළිදරව් වූයේ කාලයකට පසුවය.

කොතලාවල සහ ඩඩ්ලි (හිටපු අගමැතිවරු) කුමන්ත්‍රණයට සම්බන්ධ බව කොතලාවල තමන් සමඟ සඳහන් කළ බව ජේ.ආර්. 1966 දී ප්‍රකාශ කළේය.

 

කුමන්ත්‍රණ සැළසුම නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසාගේ බවත්, මේ පිළිබඳව කොතලාවල, ඩඩ්ලි සහ ඔලිවර් ගුණතිලක දැන සිටි බවත් මිය යාමට (1988) පෙර ඩග්ලස් ලියනගේ හෙළි කර තිබුණි.

 බණ්ඩාරනායක මෙරට රදල ප්‍රභූ පන්තිය නියෝජනය කලත් බණ්ඩාරනායකලා සම්බන්ධවූ ආණ්ඩු වල යම්  වාමාංශික නැඹුරුවක් තිබුනේ හැමවිටම ඒවා වාමාංශික සන්ධාන වූ නිසාය. ලෝකයේ බොහෝ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන්නේ වාමාංශික නැඹුරුවක්  ඇති ආණ්ඩු වලට එරෙහිවය.

 තොරුතුරු තාක්ෂණයේ දියුණුව සහ වඩා හොද රාජ්‍ය බුද්ධි අංශයක් ක්‍රියාත්මක වන රටකට එවැනි කුමන්ත්‍රණ පිලිබදව ඉතා ඉක්මනින් තොරතුරු ලබා ගත හැකිය. එහෙත් සැබෑ සමාජ පරිවර්තනයක නිරතව සිටින මාලිමාව ආණ්ඩුවට තමන්ට එරෙහිව නැගී සිටිය හැකි කණ්ඩායම් පිලිබදව අවතක්සේරුවකින් සිටිය නොහැක. ලෝකයේ බොහෝ රටවල සිදුවූ කුමන්ත්‍රණ  වලට සම්බන්ධ වූයේ ආරක්ෂක අංශවල අයත්, ව්‍යාපාරිකයනුත්, දේශපාලකයනුත්ය. අද පාතාල මැර කණ්ඩායම්ද අලුතෙන් එක්ව සිටිති.ඔවුන් සිටින්නේ ආයුධ සන්නද්ධවය. ඒ නිසා ගිනි අවි කාගෙන් කාහට එල්ල වී ඇති දැයි සිතා ගැනීමත් අපහසුය.

 ඉතිහාසයේ සිදුවීම් යළි යළිත් සිදුවිය හැකිය යන්න පිළිගත් සිද්ධාන්තයකි. ආරංචි රාළ ඒ මතක් කිරීම කරයි.

 

ආරංචි රාළ

(ෂෙල්ටන් පිරිසගේ සටහනක් පදනම් කරන්ගෙනය.)

 

2025.03.06 - 59 වන දිගහැරුම

 

Comments

Popular posts from this blog