සියල්ල හොඳින් සිදුවෙනවා, ඉවසපන් පපුව ඉවසපන්!
අපව ජීවත් කරවන්නේ අපගේ බලාපොරොත්තු සහ අරමුණු බව නිතර දෙවේලේ අපට ඇසෙන කියමනකි. මෙහි ලොකු සත්‍යයක් ඇතැයි ආරංචි රාළ විශ්වාස කරයි.මක්නිසාදයත් අරමුණක් හෝ බලාපොරොත්තුවක් යනු නිශ්චිත ඉලක්කයකි. එවන් බලාපොරොත්තුවක් හෝ ඉලක්කයක් ඇති කෙනෙකුගේ ජීවිතය ඉබාගාතේ යන්නේ නැත. රටක් ගැනද කිව යුත්තේ මෙයමය.
එහෙත් කෙනෙකුගේ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීම හෝ අරමුණක් කරා ළඟා වීම එක කළ හැකි දෙයක් නොවේ. ක්ෂණිකයෙන් එවැනි බලාපොරොත්තු ඉටුවීම හෝ අරමුණු කරා ළඟා වීම අප දකින්නේ, නවකතාවක,ටෙලිනාට්‍යක,වේදිකා නාට්‍යයක හෝ චිත්‍රපටියක වැනි ප්‍රබන්ධ තුළ පමණි.
2024 සැප්තැම්බර් 21 සහ නොවැම්බර් 14 වන දින දෙකේදී මෙරට ජනතාව ජාතික ජන බලවේගය සමග සැමදෙනාගේ බලාපොරොත්තු සහ අරමුණු ගණනාවක් වෙනුවෙන් එකඟතාවයකට පැමිණියහ. ඒ සියලු බලාපොරොත්තු සහ අරමුණු නිශ්චිත තේමාවක් ලෙස සඳහන් කරන්නේ නම් ඒ "පොහොසත් රටක් තුල ජනතාවට ලස්සන ජීවිතයක් උදාකර ගැනීමයි."
මේ වනවිට ආණ්ඩුවේ සියලුම වැඩකටයුතු සිදුවන්නේ මේ බලාපොරොත්තු සහ අරමුණු ඉදිරියේ තබාගෙනය.එහෙත් එය ආණ්ඩුවට පමණක් තනියම කළ හැකි දෙයක් නොව අතර එය සාමූහික ප්‍රයත්නයකින් සිදුවිය යුතුව ඇත.වසර ගණනාවක් තිස්සේ මෙරට සිදුවූ ඒ මහා විනාසය ගැන යළි යළි කියමින් අතීතය සොදා සොදා මඩේ දාන්නට ආරංචි රාළට අවශ්‍ය නැත.
ක්‍රමවේදයේ වෙනසකට නැතිනම් System Change එකකට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වීම අතිශයින්ම වැදගත්ය.
කෙනෙකුගේ ආකල්ප නිර්මාණය වෙන්නේ ඔහු හෝ ඇය ඉපද, හැදී වැඩි ජීවත්වෙන පරිසරයට අනුකූලවය. පරාර්ථකාමී ආකල්ප ගොඩනැගෙන්නට සුදුසුවූ සමාජ වටපිටාවක් මේ රටේ තිබුන නැත. තමන් ගැන පමණක් සිතන බඩජාරි ආත්මාර්ථකාමී ජනතාවක් බිහිවූයේ ඒ නිසාය. යම් යම් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමෙන් ක්‍රමානුකූලව මිනිසුන්ගේ හැසිරීම් වෙනස් කරගත හැකි වන අතර පුළුල් සමාජ වෙනසකට බලපෑම් ඇති කරන ආකල්පමය වෙනසක්ද ඇති කරගත හැකියි. එම ආකල්ප වෙනසට ජනාධිපතිවරයාගේ පටන් ආණ්ඩුකරණයේ නිරතව සිටින සියලු දෙනාම මේ වනවිට පැහැදිලි ආදර්ශයක් ලබා දී ඇත.
බහුතර ජනතාව මෙය ඉතා හොඳින් වටහාගෙන ඇත. ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නායකත්වය ඔවුන් වෙත ලබාදෙන ඒ ප්‍රගතිශීලී සහ සුබවාදී ආදර්ශය ඔවුන් අනුගමනය කරමින් සිටිති. එහෙත් වසර ගානක් තිස්සේ වංචාව දූෂණය, හොරකම සහ අල්ලසට හුරුව සිටි බොහෝ දෙනෙකුට තවමත් එම පුරුදු අත හරිය නොහැකිය. මක්නිසාදයත් එසේ කරන්නේ නම් ඔවුන්ට බොහෝ දේවල් අහිමිවන බව ඔවුන් දනිති.
එහෙත් මෙම තත්ත්වය නියත වශයෙන්ම ඉදිරියේදී වෙනස් වනු ඇත.
සිදු විය යුතු වෙනස වෙනුවෙන් ගත යුතු පියවරයන් රාශියක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගෙන ඇත.
එබැවින්, තමන්ගේ බලාපොරොත්තුවේ මස් රාත්තලම එක රැයින් ඉල්ලා සිටින ජනතාවට ආරංචි රාළ කියන්නේ; "වැඩේ හොඳට සිද්ධ වෙනවා... ඉවසපන් පපුව ඉවසපන්" කියාය.
ආරංචි රාළ - 2025 .03. 14 /63 වන දිගහැරුම
Comments
Post a Comment