අස්වැසුම අවුල් ජාලාවක් - පැහැදිලි දිශානතියකට හැරවීමට NPP ආණ්ඩුව 'U' යූ ටර්න් එකක් ගත යුතුය.
ඕනෑම සමාජ සුභසාධන වැඩසටහනක අවසාන අරමුණ ජනතාව බලගැන්වීම විය යුතුය. මේ අස්වැසුම එම නමින් හෝ වෙනත් නමකින් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට පවතින ආණ්ඩුව අදහස් කරන්නේනම් ආරංචි රාළ කතා කරන මේ ජනතාව බලගැන්වීමේ (Empowerment ) අරමුණ මෙම වැඩසටහනේ ඉදිරියෙන් තබා ගත යුතුමය.
මේ වන විට අවුල් ජාලාවක් බවට පත්ව ඇති අස්වැසුම සමාජ සුභසාධන වැඩසටහන පිළිබඳව විවිධ මත සමාජය තුළ පැතිරෙමින් පවතී. රනිල් වික්‍රමසිංහ විසින් නිශ්චිත සැලැස්මක් නැතිව ආරම්භ කළ මෙම ඊනියා සමාජ සුභසාධන වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී සිදුව ඇති දුර්වලතාවයන් පිළිබඳව ජනතාව චෝදනා කරන විට බලයේ සිටින ආණ්ඩුවට ඒ චෝදනා කිසිවක් නොසලකා හැර සිටිය නොහැකිය..
ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා ආණ්ඩුව අනුගමනය කර ඇති ක්‍රමවේදය සහ නිර්නායකයන් පිළිබඳව ජනතාවට වැටහීමක් නොමැති අතර එවකට පැවති ආණ්ඩුව ඒ ගැන ජනතාව දැනුවත් කලේද නැත. ඔවුන් පවසන්නේ නියත වශයෙන්ම අස්වැසුම ලැබිය යුතු බොහෝ පවුල්වලට එය නොලැබෙන බවත් නොලැබිය යුතු බොහෝ දෙනෙකුට අස්වැසුම ලැබෙන බවත්ය. නිසි ක්‍රමවේදයක් අනුගමනය කලානම් වර්තමාන ආණ්ඩුවට අස්වැසුම හිසරදයක් වන්නේ නැත.පසුගිය දවසක හන්දියේ කරක් ගසමින් සිටි ආරංචි රාළගේ කනට ඇසුනේ මෙවැනි අදහස් කිහිපයකි.
"පොලීකාරයින්ටත් ආණ්ඩුවෙන් අස්වැසුම දීලා"
" ගෙවල් දොරවල් තුන හතරක් තියෙන මිනිස්සුන්ටත් අස්වැසුම දීලා.
"බඩට බත් ඇටයක් දාගන්න බැරුව වැල් නැතිව ඉන්න මිනිස්සුන්ට අස්වැසුම ලැබෙන්නේ නෑ."
ඊයේ ආරංචි රාළට මුණගැසුණු ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් පැවසුවේද මෙවන් කතාවක්වමය.මන්ත්‍රීවරුන්ගේ මහජන දිනයේදී ඔවුන් හමුවීමට පැමිණෙන බොහෝ දෙනෙක් තමන් අස්වැසුම ලැබීමට සුදුසු බවත් එහෙත් එය තමන්ට නොලැබෙන බව ත් අනේ තමන්ට අස්වැසුම ලබා දෙන්නයි අදෝනා කරන බවය.
ආරංචි රාළ ඉතා හොඳින් දන්නා වයසක අම්මා කෙනෙකුට ලැබිය යුතු අස්වැසුම ඇයගේ නිවසට යාබදව වෙසෙන යමක් කමක් කරගත හැකි පුද්ගලයකුට ලැබෙන්නේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිලධාරින් ඇයගේ හැඳුනුම්පත් අංකය වෙනුවට ඔහුගේ හැඳුනුම්පත් අංකය පරිගණකයට ඇතුල් කර ඇති නිසාය. වසර එකහාමාරක් තිස්සේ මේ අහිංසක අම්මාට ලැබිය යුතු අස්වැසුම දීමනාව ඔහු ලබාගෙන ඇත.මේ පිළිබඳව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිලි කළත් මේ වරද නිවැරදි කර ඒ අහිංසක අම්මාට අස්වැසුම ලබාදීමට ආණ්ඩුවේ නිලධාරීන්ට තවම හැකිවී නැත. එහෙන් මෙහෙන් ලැබුණු ආරංචි වලට අනුව මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හැටදහකට වඩා පවතින බව ආරංචි රාළ දනියි .
කෙසේ වෙතත් මේ අස්වැසුම සුභසාධන වැඩපිළිවෙළ පිළිබඳව ආරංචි රාළට ඇත්තේ වෙනම කියවීමකි. අප වැනි රටක අතිශයින්ම ආන්තික සමාජ තලයක ජීවත්වෙන බොහෝ පවුල්වලට මෙවැනි සහනාධාර ලැබිය යුතුමය. එහෙත් එම සහනාධාරය හෝ සුභසාධන ප්‍රදනය නිශ්චිත කාල වකවානුවක් තුළදී එය ලබන්නා වූ පුද්ගලයින් බලගැන්වීම සඳහා වන ක්‍රියාවලියක් සමග විය යුතුය.
ආරංචි රාළ මතවාදීව එකඟ නොවුනත් ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ජනසවිය වැඩසටහනට මෙවැනි නිශ්චිත ජනතාව බලගැන්වීමේ කිරීමේ අරමුණක් තිබුණි. එහෙත් අවාසනාවකට එය දේශපාලන අවශ්‍යතාවයන් සඳහා පෙළ ගැසුණු නිසා ජනතාව බලගැන්වීමේ අරමුණ ඉටුකර කිරීමට එම වැඩසටහනට නොහැකි විය. ඉන් අනතුරුව කරළියට පැමිණි සමෘද්ධි වැඩසටහන, දිවි නැගුම සහ අස්වැසුම පටු දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් නිර්මාණය කර පවත්වා ගෙන යනු ලැබූ වැඩසටහන් විය.
"පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්" ඇති කරන්නට මෙවැනි එක දිශානියතකට ගලායන සුභසාධන වැඩසටහන් තුළින් කළ හැක්කේ ඉතා සුළු කාර්යභාරයකි. ආන්තික මට්ටමේ ජීවත් වෙන ජනතාවන් නොසලකා හැරීම ඉන් අදහස් වන්නේ නැත.
එහෙත් ඕනෑම සමාජ සුභසාධන වැඩසටහනක අවසාන අරමුණ ජනතාව බලගැන්වීම විය යුතුය. මේ අස්වැසුම එම නමින් හෝ වෙනත් නමකින් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට පවතින ආණ්ඩුව අදහස් කරන්නේනම් ආරංචි රාළ කතා කරන මේ ජනතාව බලගැන්වීමේ (Empowerment ) අරමුණ මෙම වැඩසටහනේ ඉදිරියෙන් තබා ගත යුතුමය.
ආරංචි රාළ - 2025 .03. 29 - 73 වන දිගහැරුම
Comments
Post a Comment