රජයේ මාධ්‍ය පුනරුදයකට මග කියන මාධ්‍ය මෙහෙවරක නිරතවිය යුතුයි.
පසුගියදා අයවැය විවාදය අවසන් කරමින් "තවදුරටත් මාධ්‍යට මෙරටේ ආණ්‌ඩු වෙනස් කළ නොහැකි බව සහ එය 2019 දී අවසන්වූ බව ජනාධිපතිවරයා පැවසු කතාවේ යම් සත්‍යයක් ඇතිබව ආරංචි රාළ පිළිගත්තද තවමත් මාධ්‍යයට ජන මනස මෙහෙයවීමට ඇති හැකියාව අවතක්සේරු නොකළ යුතු බව අවදාරණය කරයි.
මේ වනවිට රුපවාහිනී නාලිකාවන් බොහොමයක් දවසේ වැඩි කාල වෙලාවක් ක්‍රියාත්මක වන අතර විශේෂයෙන් එෆ් එම් නාලිකා බොහොමයක් දවසේ පැය විසිහතරම ක්‍රියාත්මකයි.මින් අදහස් කරන්නේ මේවා ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු කවුරුන් හෝ නරබන්නේ හෝ ශ්‍රවණය කරන බවය. එසේම සමාජ මාධ්‍යය සෑම මොහොතකම ජනතාව සමිපයේමය.එබැවින් වැරදි නිවැරදි තොරතුරු ජනතාව වෙත ගලායනු අතර ජනතාවගේ තීරණවලට එය විශාල බලපෑමක් කරයි.
අපේ රටේ බහුතර ජනතාවකට රුපවාහිණය තවමත් විනෝදාස්වාදය සපයන ප්‍රධාන මාධ්‍යයයි. මේ තරම් ප්‍රමාණයක්, ටෙලිනාට්‍ය,රියලිටි වැඩසටහන්,සංගීත වැඩසටහන් සහ විවිධ රටවල චිත්‍රපට ප්‍රචාරය වන්නේ ඒ නිසාය.මෙවන් විනෝදාශ්වාදය වැඩියෙන් සපයන රුපවාහිනී නාලිකා ඉදිරියේ වැඩි ජනතාවක් වාඩිවී සිටින්නේ ඒ නිසාය.
එසේම ජනතාව තොරතුරු දැනගැනීමට ඇති අසාවෙ සහ උනන්දුවේ අඩුවීමක්ද නැති අතර මෙම සෑම මාධ්‍යයකම සැලකිය යුතු ගුවන් කාල සීමාවක් ප්‍රවෘර්ති ප්‍රචාරය සදහා වෙන් කර ඇත්තේ ඒ නිසාය. එසේම වැඩිකාලයක් නරඹන රුපවාහිනියේ ප්‍රවෘර්ති නැරඹීමට ජනතාව යොමුවී ඇත.
මේ අතර සෑම ප්‍රධාන රුපවාහිනී නාලිකාවක්වම දවසේ අවම වශයෙන් උදැසන,මධ්‍යාහනයේ,හවස් කාලයේ සහ රාත්‍රියේ ප්‍රවෘර්ති ප්‍රචාරය සදහා වෙන් කර ඇත. එසේම වෙළද දැන්වීම් සහ වෙනත් දැනුවත් කිරීම් අයින් කළ විට සාමාන්‍යයෙන් විනඩි 20 ක තරම් කාලයක් ප්‍රවෘර්ති සදහා වෙන් කරනු ඇත. එවන් ප්‍රවෘර්ති ප්‍රකාශයකදී විනාඩියක් යනු ඉතා විශාල කාල පරාසයකි.ප්‍රතිශතයක් ලෙස මුළු ප්‍රවෘර්ති ප්‍රකාශන කාලයෙන් 5%කි.
පුනරුදයක් කරා අප යන ගමනේදී රජයේ රුපවාහිනී නාලිකා වල ප්‍රවෘර්ති ප්‍රකාශනයට ඇති වැදගත් කම කිසිවෙකුට අඩු තක්සේරු කළ නොහැකිය.පසුගියදා ජාතික රුපවාහිනිය තමන්ගේ ප්‍රධාන ප්‍රවෘර්ති විකාශනයක්දී එහි සභාපතිවරයාගේ මවගේ අභාවය පිලිබදව විනාඩියකට ආසන්න හෝ වැඩි කාලයක් වෙන්කිරීම ගැන පුනරුදයට මග හෙළිකරන මිනිසුන් උරණවී ඇත්තේ එනිසාය. මරණයක් කෙනෙකු වේදනාවට පත්කරන සිදුවීමකි. එහෙත් එහි ඇති ප්‍රවෘර්තිමය වටිනාකම තීරණය කිරීමට තවත් බොහෝ සාධක තිබිය යුතුය. තමන් පිලිබදව සහ තම පරපුර පිලිබදව සත පහක හෝ වැදගත් කමක් නැති තොරතුරු වෙනුවෙන් විනාඩි නොව පැය ගණන් ජනතාවට අයත් ගුවන් කාලය අවභාවිතා කල යුගයක් තිබු අතර ජනතාව දැන් ඒ යුගය වෙනස් කර ඇත.
අවාසනාවකට තවමත් රාජ්‍ය මාධ්‍යය මෙහෙයවිම සදහා ජාතික ජන බලවේගය පත්කර ඇති රජයේ මාධ්‍ය ආයතනවල ලොක්කන්ට මේ යතාර්ථය අවබෝධකර ගැනීමට බැරිවී ඇතුවාසේය.
ආරංචි රාළ කාටවත් උපදෙස් දෙන්නේ නැත. එහෙත් මෙය කිව යුතුවම ඇත. ජනාධිපතිවරයා, අගමැතිවරිය,ඇමති මණ්ඩලය සහ පාර්ලිමේන්තුවට පත්ව සිටින ජාතික ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම " පොහොසත් රටක් සහ ලස්සන ජිවිතයක් " ප්‍රතිපත්ති ප්‍රකාශය හොදින් අවබෝධ කරගෙන එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැහැදිලිය. එහෙත් ආණ්ඩුව විසින් පත්වීම කර ඇති සමහර ආයතන ප්‍රධානින් අවමවශයෙන් එම ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීම කෙසේ උවද දැකලාවත් නැතිවසේය. ආරංචි රාළ හන්දියේ කොල්ලන්ගේ බාසාවෙන් කියනවානම් "තවමත් පිස්සු කෙලින්නේ " ඒ නිසාය.
අධ්‍යාපන සහ ක්‍රීඩාවට අදාළ වාර්තා ඉදිරි පත්කිරීමේදී තවමත් රජයේ මාධ්‍ය වලට හසුවන්නේ කොළඹ මහා කොලිජිවල, වැඩසටහන්, ක්‍රීඩා උත්සව, ක්‍රිකට් තරග සහ රගර් තරග පමණි. කැලණිය සරසවියේ අදිවිද්‍යාර්ථන් විසින් එම සරසවියේ ජනසංනිවේදන අංශයට සුහුරු පුවරුවක් පරිත්‍යාග කිරීම ජාතික රූපවාහිනියට ප්‍රධාන පුවත් උනේ කෙසේදැයි මහාචාර්ය ලියනගේ අමරකීර්ති තම මුහුනුපොතේ ප්‍රශ්න කර තිබුණි.
පසුගිය සැප්තැම්බර් 21 සහ නොවැම්බර් 14 වෙනිදා අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජාතික ජන බලවේගයට ජනවරම ලබා දුන් ඡන්ද දායකයන් ඡන්ද මධ්‍යස්ථානවලට කැදවු දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන් ආණ්ඩුව ගමන් කරන මග පිලිබදව තීක්ෂණ නියාමනයක සිටින බව ආරංචි රාල ආණ්ඩුවට මතක් කර දෙන අතර රජයේ මාධ්‍ය පුනරුදයකට මග කියන මාධ්‍ය මෙහෙවරක නිරතවිය යුතු බව නැවත මතක් කරයි.
ආරංචි රාල - 2025 .03. 24; 70 වන දිගහැරුම
Comments
Post a Comment