උපාධිධාරින් උද්ඝෝෂණය කළ යුත්තේ තමන්ගේ අභිමානය වෙනුවෙනි.
එසේ නොමැති වුවහොත්, දේශපාලකයන්ගේ කකුල් දෙක ළඟ දෙකට නැවී උස නම් සිකුරිටි, මිටිනම් කම්කරු රස්සා ඔවුන්ට ලබා ගැනීමට සිදුවනු ඇත
රැකියා විරහිත උපාධිධාරීන් තමන්ට රැකියා අවස්ථා ලබා දෙන ලෙස රජයට බල කරමින් කරන උද්ඝෝෂණ පිළිබඳව නැවත වරක් මේ දිනවල මාධ්‍ය වාර්තා කරමින් සිටි.
වසර 15 - 17 වැනි කාලයක් තිස්සේ අධ්‍යාපනය ලබා අවසානයේදී තමන් කිසියම් දැනුම් සම්භාරයකින් පෝෂිත බව තහවුරු කරන සහතිකයක්ද ඇතිව සිටින උගත් තරුණ කණ්ඩායමක් තමන්ට ජීවත්වීම සඳහා ආණ්ඩුවෙන් රස්සාවක් ඉල්ලා උද්ඝෝෂණය කිරීම සැබැවින්ම ඛේදවාචකයකි.
රටේ ජනතාවට අවශ්‍ය රැකියා ජනිත කරවීම ආණ්ඩුවේ වගකීමකි. ඒ පිළිබඳව විවාදයක් නැත. එහෙත් උගත් උපාධිධාරීන්ට රජයෙන් රැකියා ඉල්ලා සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බවයි ආරංචි රාළගේ අදහස. මක්නිසාදයත්, ඔවුන්ගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ රටට අවශ්‍ය රැකියා අවස්ථා ජනිත කරවීමය. අවාසනාවකට අද බොහෝ තරුණ තරුණියන් රජයේ රැකියාවක් සඳහා යොමු වන්නේ පසු කාලයේ හිමිවන විශ්‍රාම වැටුප නිසාය. එයින් ගම්‍ය වන්නේ අනාගතය පිළිබඳව ඇති අවිනිශ්චිත බව පරාධීන බව නොවේද?
පසුගිය කාලයේ විවිධ පෞද්ගලික ආයතනවල ඉහළ මට්ටමේ රැකියා වල නිරත වෙමින් විශේෂයෙන් කළමනාකරණ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ බොහෝ උපාධිධාරීන් ආණ්ඩුව විසින් ලබා දුන් උපාධිධාරින් සඳහා වූ රැකියා සඳහා යොමු වූයේ ඔවුන් රජයේ රැකියාවක් තුළ ඇති ආරක්ෂිත බව සහ අවසානයේ ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන නිසාය. මේ මොනතරම් පසුගාමී තත්ත්වයක්ද?
උපාධිධාරියකු බිහි කිරීමට රජය විශාල මුදල් ප්‍රමාණයක් වැය කරයි.එබැවින් ඔවුන් රටේ අනෙකුත් තරුණ තරුණියන්ට වඩා භාග්‍යවන්තයෝ වෙති. වසර තුනක හෝ හතරක කාලයක් තිස්සේ අධ්‍යාපනය ලබා ගැනීමෙන් අනතුරුව උපාධිධාරියකු වන කෙනෙක් තුළ සාමාන්‍ය තරුණයෙකු හෝ තරුණියකට වඩා සුවිශේෂී බවක් තිබිය යුතුය. එහිදී විශේෂයෙන් ඔවුන්ගේ දැනුම සහ ගවේෂණාත්මක බව ඉහළ මට්ටමක පැවතිය යුතුය එවැනි පිරිසක් කළ යුත්තේ තමන් ලබාගත් දැනුම සහ නිපුණතාවයට අර්ථවත් සහ ක්‍රමානුකූල යෙදවීමකට සුවිශේෂී අවස්ථාවන් ලබාදෙන ලෙස රජයට බලකර සිටීම මිස පැය අටේ ආණ්ඩුවේ කන්තෝරුවක පුටු රත් කරන රස්සාවක් ඉල්ලා උද්ඝෝෂණය කිරීම නොවේ.
තමන්ගේ දැනුම සහ නිපුණතාවය උපයෝගී කරගෙන ඔවුන්ට කළ හැකි බොහෝ දේ තිබේ. ඒ සඳහා විවිධ ක්ෂේත්‍ර තෝරාගත හැකිය. පිරිහී යන සදාචාරය නැවත ගොඩනැගීමට, වැළලී යන සංස්කෘතික සහ සාහිත්‍යය නැවත ස්ථාපිත කිරීමට, පාරිසරික සහ ස්වභාවික විනාශයන් අවම කිරීමට, අධ්‍යාපනික සහ අධ්‍යාත්මික තත්වයන් වර්ධනය කිරීමට, කෘෂිකාර්මික සහ ධීවර කර්මාන්තයට නවීන තාක්ෂණය බද්ධ කිරීමට සහ නව ආදායම් මාර්ග සඳහා සංකල්ප හඳුන්වා දීමට මේ උපාධිධාරීන්ට දායකත්වය ලබා දිය හැකිය. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ තමන්ගේ විෂය ක්ෂේත්‍රය සහ දැනුමට අදාළ ව්‍යාපෘති යෝජනා සකස්කර ඒ සඳහා සහාය ලබාදෙන ලෙස රජයට බල කිරීමය. උගතුන් ලෝකයට අලුතින් යමක් බිහි කිරීමට අලුත් විදියට සිතන කණ්ඩායමක් විය යුතුය. මක්නිසාද, ඒ සඳහා ඔවුන්ට දැනුම සහ අවස්ථාව ලැබී ඇත. සරසවි ජීවිතය අවසන් කරන ඔවූහු නැවුම් අදහස් සහ චින්තනයන් සමග සමාජයට පිවිසිය යුතු අතර ඒ නැවුම් චින්තනයන් සමාජගත කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණය කළ යුතුවේ. එවිට එය උපාධිධාරීන්ගේ අභිමානය වෙනුවෙන් කරන අරගලයක් වෙනු ඇත.එසේ නොමැති වුවහොත්, දේශපාලකයන්ගේ කකුල් දෙක ළඟ දෙකට නැවී උස නම් සිකුරිටි, මිටිනම් කම්කරු රස්සා ඔවුන්ට ලබා ගැනීමට සිදුවනු ඇත.
ආරංචි රාළ -2025 .03. 25 - 71 වන දිගහැරුම
.
Comments
Post a Comment