කාන්තා අයිතිවාසිකම්, ආණ්ඩුව, UN  සහ NGOs 

එක්සත් ජාතීන්ගේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක් පිළිබඳ කරන ලද සොයාගැනීම් පිලිබඳව ප්‍රකාශයක් 2025 පෙබරවාරි 25 වෙනිදා එළි දක්වා තිබුණු අතර විශේෂයෙන් එහි  ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු  ආරංචි රාළ කියෙව්වේය. සමානාත්මතාවය පදනම් කරගෙන ඉදිරියට ගමන් කරන රටක් ලෙස අපගේ විශේෂ අවධානය යොමුවිය යුතු කරුණු කාරනා ගනනාවක් එහි ඇත.

 ලිංගිකත්වය  සහ වෙනත් ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඉහළ මට්ටමක පැවතීම,

 # අවම වශයෙන් කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක්  අයෙකුවත් තම  සමීපතම සහකරුවා අතින් කායික සහ/හෝ ලිංගික හිංසනය අත්විදීම,

 # අසමානුපාතික ලෙස අඩු නඩු පැවරීම් සහ දඬුවම් අනුපාතයන් පැවතීම සහ

 # විවාහක ස්ත්‍රී දූෂණය සහ සමීප සහකරු ප්‍රචණ්ඩත්වය නිශ්චිත අපරාධයක් ලෙස නීතිය හමුවේ හඳුනාගෙන නොතිබීම සම්බන්ධයෙන්ද කමිටුව මෙන්ම  ආරංචි රාළද කනස්සල්ලට පත්ව සිටියි.

ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර තීව්‍ර කරන ලෙස කමිටුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි. එසේම සෑම අවස්ථාවකදීම විවාහක දූෂණය පැහැදිලිවම අපරාධයක් බවට පත් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන ලෙසට වැඩිදුරටත් අවධාරණය කරයි.

කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් ඵලදායි ලෙස විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ අධිකරණ බලධාරීන්ගේ හැකියාව ශක්තිමත් කිරීම යනාදී වශයෙන් යෝජනා ගණනාවක්ම කමිටුව ඉදිරිපත් කර ඇත. යුක්තිය සමානාත්මතාවය සහ සත්‍යය වෙනුවෙන් සැම විටම පෙනී සිටින ආරංචි රාළ ට මේ කිසිම යෝජනාවකට විරුද්ධ වන්නට නම් නොහැකිය.

එහෙත් ඉන් අනතුරුව යෝජනා කර ඇති සමහර යෝජනා පිළිබඳව එක්සත් ජාතීන්ගේ කමිටුව මීට වඩා තොරතුරු සොයා බැලිය යුතු යැයි ආරංචි රාළට සිතේ.

# කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන සහ කාන්තා මානව හිමිකම් ආරක්‍ෂකයින් හට තිබෙන බාධා සහ

# ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල ක්‍රියාත්මක වන කාන්තා අයිතිවාසිකම් වලට ක්‍රියාත්මක වීමේදී ඇතිවන බාධා, අරමුදල් සීමා කිරීම් සහ නිලධාරීවාදය නිසා ඇති වන අභියෝග පිළිබඳව කමිටුව කනස්සල්ල  පලකිරීම ප්‍රශ්න කළ යුතුව ඇත.

 රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමේ අදාළ නියෝගය ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව නම් ආරංචි රාළට ඇත්තේ වෙනම කියවීමකි. මක්නිසාදයත්,ඊනියා රාජ්‍ය නොවන සංවිධාන වල ඇති සුජාතභාවය පිළිබඳව ආරංචි රාළට බොහෝ ප්‍රශ්න ඇත. 

රජය, රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරකම්වලට ඇඟිලි නොගැසිය යුතුය. එහෙත් බංකොලොත් කරන ලද රටක් තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට දුෂ්කර ගමනක් යන මේ අවස්ථාවේ රජයේ දේශපාලන සහ  සමාජ ක්‍රියාකාරකම්වලට රාජ්‍ය නොවන සංවිධාන   සහයෝගය දැක්විය යුතුව ඇත.

(මේ ඡායාරුපය ගනු ලැබුවේ 10 පාන්දර 4.00 ට පමණය.  මේ කාන්තාව ගම්පහ දුම්රිය පොළේ බැංකුවක් උඩ නිදා සිටියාය)

 එහිදී තමන්ට මුදල් ලබා දෙන සංවිධාන හෝ රාජ්‍යයන්හි න්‍යාය පත්‍රයන්ට අනුව නොව රටේ  න්‍යාය පත්‍රයකට එකඟ වීම රාජ්‍ය නොවන සංවිධානද කළ යුතුව ඇත. එබැවින් රාජ්‍යය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම තුළින් අනිවාර්යයෙන්ම රජය ඒවා  නියාමනය කළ යුතු බව ආරංචි රාළගේ අදහසයි.

 වසර 76 ක් තිස්සේ මෙරට පාලනය කළ පවුල් කිහිපයක් ආධිපත්‍යය රඳවා තිබූ ආණ්ඩුවක් වෙනුවට මේ වනවිට සමස්ථ  ජනතාවගේම අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක් දැන් තේරී පත්ව ඇත.

එම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි විවේචනයක නිරතවීමේ අයිතිය රාජ්‍ය නොවන සංවිධානවලට ඇති අතර මේ රටේ සමස්ථ ජනතාවගේ පොදු අපේක්ෂාවන් බද්ධව කටයුතු කිරීම රාජ්‍ය නොවන සංවිධානද අමතක නොකළ යුතුය.

 

ආරංචි රාළ - 2025 .03. 11 /62 වන දිගහැරුම

 

 

Comments

Popular posts from this blog