එදා පාතාලයේ ක්‍රියාකාරකම් හුදු ප්‍රවෘත්ති වාර්තාවලින් පමණක් අවසාන වූයේ,ඒ පිටුපස දේශපාලකයෙක් හෝ දේශපාලන බලය සිටි නිසාය.
ජාතික ජන බලවේගය මේ තත්ත්වය හොඳින් වටා ගෙන ඇත. මේ රටේ පාරා ආණ්ඩුව මෙහෙයවන පාතාලය අවසන් කරනවා"ජනාධිපති අනුර කුමාර දිසානායක.
ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමත් සමගම මේ රටේ දේශපාලන බලය බාර දෙනු ලැබුවේ නිදහස ලබන අවස්ථාව වන විට අධිරාජ්‍යවාදීන්ට ආවඩ කරමින් සිටි ඊනියා ප්‍රභූ පන්තියටය. සේනානායකලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා සහ වික්‍රමසිංහලා ඒ ප්‍රභූ වලව් හිමිකාරීත්වය දැරූ හාමු පරපුරයි.
90 දශකය අවසානයත් සමග දේශපාලන බලය එම හාමු පරපුරෙන් වාමවාදී යැයි කියාගන්නා පාරම්පරික දේශපාලන පක්ෂ තුළ සිටි පෙරළිකාර සහ ජනප්‍රිය චරිත නිරූපණයක නිරත වූ රාජපක්ෂලා වෙතට මාරු විය. ඔවුහු මෙරට ප්‍රභූ සහ දේපල හිමිව තිබු පන්තියක් නොවූ නිසා දේශපාලන බලය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වූ මහා ධනස්කන්ධය උපයා ගැනීමට මහා පරිමාණයේ රාජ්‍ය දේපළ වංචා කිරීමට යොමු වූ අතර, අවසානයේ ඔවුන් ආසියාවේ ධනවත්ම පවුලක් බවට පත් වූ අතර ඔවුන් පාලනය කළ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත්විය.
යුක්‍රේනයේ යුද්ධය නිසා එරට ලක්ෂ සංඛ්‍යාත තරුණ ජනතාවක් මරණයට පත්වුවත්, දේපල සහ ආර්ථිකය විනාශ වී ගියත් මේ වන විට එරට ජනාධිපතිවරයා මහා පොහොසතෙක් බවට පත්වී ඇති බව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේද ඒ දේම සිදුවූ බව ආරංචි රාළ හොඳින් දනියි. මහා ධනවතුන් බවට පත්ව ඇති මේ පවුලට මේ ධනය උපයා ගැනීම සඳහා දේශපාලන අධිකාරියට සමගාමීව තවත් කණ්ඩායමක් අවශ්‍ය විය. ඒ සඳහා ඔවුහු නිර්මාණය කරගත් කණ්ඩායම වන්නේ පාතාලයයි ! පාතාලයේ ක්‍රියාකාරකම් මොනවාදැයි ආරංචි රාළ දිග හෑලි ලිවිය යුතු නැත.
ලෝකයේ ඕනෑම රටක පාතාලය සෘජුව දේශපාලනය සමග බැඳී ඇත. අද පාතාල නායකයින් ගැන කතා කෙරුවත් අතීතයේ අපට සිටියේ චණ්ඩීන් ගේ කණ්ඩායම්ය. ඔවුන් චන්ඩින් වූයේ ශරීර ශක්තිය සහ සිතේ ඇති දැඩි බව නිසාය. මේ චණ්ඩීන් ගමේ, නැත්නම් ආසනයේ දේශපාලකයාගේ ළඟම හිතවතා විය. ඒ සමගම ඔහු දේශපාලකයාගේ සියලු ආර්ථික සහ දේශපාලන බල ව්‍යාපෘති මෙහෙයවන්නා බවට පත්විය.
2000 යන් පසු මෙරට බලය අත්පත් කර ගන්නා කණ්ඩායම එම පාතාලය ජාතික මට්ටම දක්වා කැඳවාගෙන පැමිණි අතර ඔවුන් විසින් අද ක්‍රියාත්මක වන මේ සුවිශේෂී පාතාල රාජ්‍යය නිර්මාණය කර ගත්හ. එපමණක් නොව නිතිය සහ ආරක්ෂාව මෙහෙවන ආයතනවල රැකවරණයද ඔවුන්ට ලබා දෙන ලදී. දේශපාලකයින්ගේ සියලු කටයුතු මෙහෙයවනු ලැබූ පාරා රාජ්‍ය බවට පත්වූයේ මේ පාතාලයයි. අනුර හොරේෂස් රචනා කර ඇති ගිණිකෙළි සහ ගිනි අවි ග්‍රන්ථය මේ ගැන බොහෝ දේ අපට කියාදෙයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට පාතාලයේ සහයෝගය නොමැතිව ජනතාව විසින් පත්කරනු ලැබූ ආණ්ඩුවක් දැන් බිහිවී ඇත. ඒ සමගම රාජ්‍යය සහ ප්‍රධාන දේශපාලන පක්ෂ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ ඊනියා පාතාලය නන්නත්තාර වී ඇත. දැන් ඔවුන් එකිනෙකා ඇනකොටා ගෙන මරා ගන්නට පටන් ගෙන ඇත.
එදා පාතාලයේ ක්‍රියාකාරකම් හුදු ප්‍රවෘත්ති වාර්තාවලින් පමණක් අවසාන වූයේ ඒ සෑම ක්‍රියාකාරකමක් පිටු පසම දේශපාලකයෙක් හෝ දේශපාලන බලය සිටි නිසාය. එහෙත් දැන් විමර්ශන සිදුවෙනවා පමණක් නොව එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ අය අත්අඩංගුවට ගැනීමද සිදුවේ.
ජාතික ආරක්ෂාව අනතුරේ! මහජන ආරක්ෂාවට තර්ජනයක් ! වැනි විලාප නගන්නේ මේ පාතාලය විසින් සහාය දැක්වූ කලක් මේ රට පාලනය කළ දේශපාලකයින්, ඔවුන්ගේ දූ දරුවන් සහ හෙන්චයියන්ය.
"ජාතික ජන බලවේගය මේ තත්ත්වය හොඳින් වටා ගෙන ඇත. මේ රටේ පාරා ආණ්ඩුව මෙහෙයවන පාතාලය අවසන් කරනවා" ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන විට ආරංචි රාළ ප්‍රබෝධයට පත්වූ කිව යුතුය.
ආරංචි රාළ : 2025 . 03. 01 - 54 වන දිගහැරුම
Comments
Post a Comment