ආසියානු පැසිෆික් ජන බලවේග සාධාරණත්වය, සමානාත්මතාවය සහ සාමය වෙනුවෙන් එක් වෙති!

"සාධාරණත්වය, සමානාත්මතාවය සහ සාමය කරා" තේමාව මුල් කරගෙන පසුගිය නොවැම්බර් 6  සිට 8 දක්වා, කොළඹදී පැවති 3 වන  ආසියානු පැසිෆික් ජන බලවේග සමුළුව අවසන් වූයේ ක්ෂේත්‍රයන් කීපයක් මූලික කරගෙන සාධාරණත්වය, සමානාත්මතාවය සහ සාමය තමන්ගේ ප්‍රජාවන්, රටවල්,  කලාප සහ ගෝලීය සංදර්භයන් තුළ ස්ථාපිත කිරීම සදහා වන යෝජනා සහ ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කරන ලද කොළඹ ප්‍රකාශනය එළිදැක්වීමත් සමගය.

ආසියා පැසිපික් කලාපයේ  මෙන්ම ඩෙන්මාර්කය, ඉතාලිය, ජොර්දානය සහ පලස්තීනය වැනි රටවල් 17 ක විවිධ සංවිධාන නියෝජනය කරමින් සමාජ සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි විය.

එම රටවල්වල බිම් මට්ටමේ ජනතාව සමග නිරන්තරයෙන් එක්ව කටයුතු කරන සමාජ ක්‍රියාකාරීන් මෙන්ම විවිධ සංවිධාන සහ රාජ්‍ය මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනයේ නිරත නියෝජිතයන් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වී සිටීම සුවිශේෂී කරුණක් විය. 

කොළඹ ප්‍රකාශනය මගින්, ආන්තිකකරණයට ගොදුරවී තම මූලික සමාජ දේශපාලන  ආර්ථික සහ පාරිසරික අයිතිවාසිකම් අහිමි වී සිටින සහ පීඩාවට පත් වූ ජනතාව පවතින දේශපාලන සහ සමාජ ව්‍යුහයන් සමග කරන අරගලය සහ අපේක්ෂිත විකල්ප විසදුම් සහ එම විසදුම් යථාර්ථයක් කර ගැනීමට  උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලදි.


පවතින සමාජ ව්‍යාකූලතාවයන් සහ අසාධාරණයන් නිසා පීඩාවට පත් වී සිටින ජනතාව වෙනුවෙන් හුදු සුභසාධන වැඩසටහන් වලින්  ඔබ්බට දිවෙන සැලසුම් සහගත සමාජ පරිවර්තනයක අවශ්‍යතාවය පිළිබඳව නියෝජිතයෝ අවධාරණය යොමු කළ හ.

අධිරාජ්‍යවාදයේ මෙන්ම යටත්විජිතවාදයේ ගොදුරු බවට පත්වීමෙන් පීඩාවට පත්වී සිටින ජනතාව තම විමුක්තිය වෙනුවෙන් කරන අරගලවල පවතින සමානතාවයන් නිසා එක් එක් ප්‍රදේශ සහ රටවල් තුල ක්‍රියාත්මක වන හුදකලා වූ සමාජ අරගල වෙනුවට

සාමූහික ජාතික, කලාපීය සහ ගෝලීය අරගල වල ඇති අවශ්‍යතාවය සම්මන්ත්‍රණයේ සම්පත්දායකයින් සහ නියෝජිතයන් තදින් අවධාරණය කලහ.

ප්‍රාදේශීය සහ ජාතික මට්ටමින් සාධාරණත්වය සමානාත්මතාවය  සහ සාමය වෙනුවෙන් කැපව සිටින තරුණ සහ කාන්තා  සහභාගීත්වය ඉතා ඉහළ මට්ටමකින් පැවති මෙම සමුළුවේදී ඔවුන්ගේ කැපවීම සහ ක්‍රියාකාරීත්වය කැපී පෙනුණු ලක්ෂණයක් විය.


ඉන්දියාවේ ඇක්ෂන් ඒඩ් සහ ශ්‍රී ලංකාවේ නැෆ්සෝ ආයතන එක්ව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන ලදි.

 

ආරංචි රාළ - 2025.11.19. 152 වන දිගහැරුම

 


  

Comments

Popular posts from this blog