ශ්‍රී ලංකාවේ දේශපාලනය මේ මොහොතේ තියෙන තැන තේරුම් නොගත්  විපක්ෂයේ නුගේගොඩ රැළිය.

විපක්‍ෂය 21 වෙනිදා නුගේගොඩ පැවැත්වූ රැළිය ගැන ආරංචි රාළට තියෙන අදහස ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය ලාල්කාන්ත සහෝදරයාගේ අදහසට හුඟාක් සමානයි. ලාල් කාන්ත කියන්නේ ආරංචී රාළ  හුඟාක් අගය කරන දේශපාලකයෙක්. මක්නිසාදයත්, ඔහු අතිශයින්ම යථාර්ථවාදී මිනිසෙක්.

2019 සහ 20120 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණවලදී ජාතික ජන බලවේගය 3% ට වැටුණු මොහොතේදීත්, ඔහු ඉතා ස්ථාවර මතයක සිටියේය.  එදා කීවෙත් ජනතාව සත්‍යය අවබෝධ කරගන්නා තුරු අපි අපගේ අරගලය කළ යුතු බවත් ජනතාවට ඇති එකම විකල්පය අප බව ඔවුන්ට අවබෝධ කර දිය යුතු බවය. 2024 ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තුවක් සහ ජනාධිපතිවරයෙක් බිහිවන්නේ ඒ නිසාය.

නුගේගොඩ රැළියට පසුදින කොළඹ පැවති වැඩසටහනකට සහභාගි වූ ලාල්කාන්ත සහෝදරයාගෙන් මාධ්‍යවේදියෙක් මෙහෙම අහනවා. "නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීති උපාධිය ගැන ඔබතුමා මොකද කියන්නේ?? "නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීති උපාධිය ගැන මම මොකුත්ම දන්නේ නැහැ. ඒ නිසා මට ඒ ගැන මොකුත් කියන්නත් බැහැ. හරි එකක්ද, වැරදි එකක්ද කියලා මම දන්නේ නැත්නම් මම කොහොමද ඒ ගැන කතා කරන්නේ" ලාල්කාන්ත එහෙම කියනවා.

එතකොට වෙන මාධ්‍යවේදියෙක් තවත් ප්‍රශ්නයක් අහනවා;  "ඊයේ නුගේගොඩ විපක්ෂය ලොකු රැළියක් තියලා, බලය ගන්න පුළුවන් පළමු අවස්ථාවේදීම බලය අල්ලනවා කියලා කියනවා. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද ?

අප තේරුම් ගත යුතු දෙයක් තමයි විපක්ෂයේ දේශපාලනයක් මේ රටේ තියෙන එක හොඳයි කියන එක. අපි විතරක් තනි අලියා වගේ දේශපාලනයේ ඉන්නවාට වඩා පාර්ලිමේන්තුවේ පවා විපක්ෂය මීට වඩා තවත් ශක්තිමත් වෙනවා නම් හරවත් වගකීම් සහගත නම් අහන් ඉන්න ජනතාවට වැටහෙනවා නම් මේ ගොල්ලෝ තමයි බලයට ගේන්න ඕනේ කියලා ඒක හොඳයි. හැබැයි ඉතින් ඒකට අපිව ඉක්මවා යන පරිනත මතයක් හදන්න ඕනෑ. නුගේගොඩ රැළියේ කතා ටික අහපුවාම එසේම එතනට පැමිණ සිටි ජනතාව දුටු වාම, ජනතාවට අනාගත ගැන බලාපොරොත්තුවක් ඇති කරන්න කිසිම කතාවක් තිබුණේ නෑ. මා මෙසේ කියන්නේ දේශපාලනය විවේචනයක් කරන්න ඕනෑකමකට නොවේ. මම සාමාන්‍යයෙන් එහෙම කරන කෙනෙකුත් නෙමෙයි.

මේ සමාජයේ හිතන පතන කල්පනා කරන අයට මාලිමාවේ පාලනයට වඩා මේ අයත් එක්ක ගියොත් යහපතක් වෙයි කියලා හැගෙන එක වචනයක් නුගේගොඩ වේදිකාවේ කතාවල  තිබුණේ නෑ. අපේ ජනාධිපතිතුමා මීට කලින් පාර්ලිමේන්තුවේදී කිවූ පරිදි විපක්ෂය අපව ඉක්මවා යන කණ්ඩායමක් බවට පත්විය යුතුයි. අපිට වඩා ශක්තිමත් ගැඹුරක් සහ වඩාත් හොඳ ව්‍යාපාරයක් විය යුතුයි.

මේ අයට අමතක වෙනවා මේ රටේ 2022 ජනතා නැගිටීමක් නැතිනම් ජනතා අරගලයක් සිදු උනයි කියලා. මේ ජන අරගලය නිසා සමාජ මානසිකත්වය වෙනස් වෙලා තියෙන්නේ. අද අපේ රටේ දේශපාලනය තුළින් ඉල්ලන්නේ අලුත් තත්වයක්. අපි උස පැනලා තියෙන බාර් එක දැන් හුඟාක් ඉහළින් තියෙන්නේ . ඒ නිසා අපිටත් වඩා ඉහළින් පනින්න ඔවුන්ට හැකියාව තිබිය යුතුයි.

අපිත් සමහරවිට පාර්ලිමේන්තුවේ සහ අතන මෙතන කරන කතාවල අඩුපාඩුකම් සිදුවෙනවා. එතකොට බලන්න ජනතාව ඒවට දක්වන ප්‍රතිචාරය. ඔවුන් කියන්නේ එවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නෙවේ මාලිමාව බලයට පත් කෙරුවේ කියලා. ඒක සහතික ඇත්ත!

ඒ නිසා ලංකාවේ දේශපාලනය මේ මොහොතේ තියෙන්නේ ඉහළ තැනක කියන එක විපක්ෂය තේරුම් ගත යුතුයි. ඒ තැනට ගැලපෙන වේදිකාවක් තමයි අද රටට අවශ්‍ය වන්නේ? විපක්ෂයට බලය අල්ලා ගන්න ඕනෑ නම්, අපිට වඩා ගුණාත්මක, හරවත් ශිෂ්ඨසම්පන්න බවින් යුතු වඩා හොඳ දේශපාලන සංස්කෘතියක් රටට ඔවුන් ඉදිරිපත් කරන්න ඕනෑ. අවංකවම කියනවා නම් නුගේගොඩ රැළියේ කතාවලින් හෝ පැමිණ සිටි ජනතාව දුටු විටදී මට නම් එහෙම දෙයක් පෙනුනේ නෑ. එතන හරවත් සමාජයට ගන්න පුළුවන් එකම එක කතාවක්වත් තිබුණේ නෑ.

ලාල්කාන්ත සහෝදරයා පැහැදිලි කලේය.


ඒ සමගම, මාධ්‍යවේදියා තවත් හොඳ ප්‍රශ්නයක් අහනවා 
"ලැබෙන පළවෙනි අවස්ථාවේදීම බල බලය අල්ලනවයි කියලා කියපු එක ගැන ඔබතුමා මොකද හිතන්නේ "

ලාල් සහෝදරයා ඒකට ලස්සන උත්තරයක් දෙනවා. " විපක්ෂය එහෙම කියනවා. ජනතාව ඒවට හිනා වෙනවා. ඒගොල්ලෝ කියන දේවල් වලට ඒගොල්ලෝමත් හිනා වෙනවා. ඒක ඉතින් පොඩි විනෝදයකට හොඳයි. අද විපක්ෂයේ සියලු දෙනාටම පොදු අභියෝගයක් තියෙනවා මේ අභියෝගයට සියලු දෙනාම එකට එකතු වෙන්න බලනවා. ඒත් ඉතින් එකතු වෙලා නෑනේ තාම. විපක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා හිතනකොට එතන ඉන්න හැමදෙනාම එකිනෙකාගේ කකුල් වලින් අදිනවා. සජිත් ප්‍රේමදාස ආවේ නැත්තේ වෙන කිසිවක් නිසා නොවේ. ඊළඟ පාර විපක්ෂයේ පොදු අපේක්ෂකයා ඔහු කියලා ඔහු හිතනවා. ඒත් ඉතින් නුගේගොඩ රැළියට ඇවිල්ලා ඒක බේරගන්න බැහැ.

නාමල් රාජපක්ෂව උස්සනවාටත් විපක්ෂයේ බොහෝ දෙනෙක් කැමති නෑ. මට අහන්න ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අය කියනවා ඒගොල්ලොත් නාමල්ව ජනාධිපති කරවන්න නෙවෙයි නුගේගොඩ රැලියට සම්බන්ධ වුණේ කියල.

තවත් දෙයක් කියන්නද,  ඔය රැලිය ගැන මාස දෙකක් තිස්සේ කතා කෙරුවා. මම කියන්නේ ඒ කතාබහ කිරීමම සත පහකට වැඩක් වුණේ නැහැ කියලයි. යම් පක්ෂයක් රැලියක් තියෙනවා නම් ඔහේ තියා ගත්තාවේ. ඒත් ඉතින් රැස්වීම් පස්සේ ඒවා ගැන ජනතාවට  කතා කරන්න දෙයක් නැහැනේ. මොකද විපක්ෂයේ නොහැකියාව පෙන්නලා ඉවරයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය මේ මොහොතේ තියෙන තැන තේරුම් නොගත්  විපක්ෂයේ නුගේගොඩ රැළිය නිකං පුස් වෙඩිල්ලක් කියලා තමයි ආරංචි රාළට කියන්න තියෙන්නේ.

 

ආරංචි රාළ; 2025.11.23 - 153 වන දිගහැරුම

 

 

  

Comments

Popular posts from this blog