ජාතික තරුණ ප්‍රතිපත්තියක්!
ජාතික ජන බලවේගය ආණ්ඩුව ජාතික තරුණ ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න යනවයි කියලා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විට ආරංචි රාල ටිකක් දෙගෙඩියාවකට පත්වුණා. මන්ද, ආරංචි රාළගේ දැනුමේ හැටියට නම්, 2014 දී ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කෙරුවා.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තරුණ කටයුතු අධ්‍යයන අංශය මේ සඳහා ලොකු දායකත්වයක් දුන්නා. එවකට විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළ වත්මන් අගමැතිනිය හරිනි අමරසූරිය සහෝදරියත් ඒ සඳහා ලොකු දායකත්වයක් දුන් බව ආරංචි රාළ දැනගෙන හිටියා. එම තරුණ ප්‍රතිපත්තිය තුල ඉතා සාධනීය කරුණු ගණනාවක්ම තිබුණා. එම ප්‍රතිපත්තිය නැවත අධ්‍යයනය කර යාවත්කාලීන කරන්නේ නම් වඩා හොඳ බවයි ආරංචි රාළ යෝජනා කරන්නේ.
තත්ත්වය එසේනම් ජාතික ජන බලවේග ආණ්ඩුව මොකටද මේ ආයෙත් තරුණ ප්‍රතිපත්තියක් සකස් කරන්න යන්නේ? ඒක ආරංචි රාළ ට ප්‍රශ්නයක්!
හිටපු නියෝජ්‍ය තරුණ කටයුතු ඇමැතිවරයා ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. 2014 වසරේදී තමයි ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් වෙන්නෙ. ඒත් ඒක ක්‍රියාවට නංවන්න උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමක් හෝ එම ප්‍රතිපත්තිය ගැසට් කිරීමක් සිදුවුණේ නැහැ. ඊට පස්සෙ 2022 දි ආපහු ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ වුණත් ඒක සාර්ථක වෙන්නෙ නැහැ.2014 ජාතික තරුණ ප්‍රතිපත්තිය සාධනීය කරුණු ඇතුළත් එකක් වුණත් සමාජයේ සියලුම තරුණ කොටස්වල අදහස් යෝජනා අරගෙන නෙමෙයි සකස් වෙන්නෙ.
මේ අදහසට නම් ආරංචි රාළ එකග නැහැ. මොකද, 2014 ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කරන්න ආරංචි රාළත් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා
කොහොම උනත් නියෝජ්‍ය ඇමැතිවරයා කියන කතාව ඇසිය යුතුමයි;
ඉතිහාසයෙ පළවෙනි වතාවට තමයි සමාජයේ සියලුම කොටස්වල දායකත්වය එක්ක ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කරන්න තරුණ කටයුතු අමාත්‍යාංශය සහ එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල එකතු වෙලා වැඩ කරන්නෙ.
මේ වැඩපිළිවෙලට මේ සම්බන්ධයෙන් අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කැමති අයට සමාජ මාධ්‍ය, ඊමේල්, තැපැල්, ෆැක්ස් මගින් තමන්ගේ යෝජනා අදහස් එවන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා.
ඒ වගේම තරුණ කටයුතු වලට අදාල මූලික අමාත්‍යාංශ 15 ක් සෘජුවම මේකට දායක වෙනවා. ඒ වගේම ඉදිරි කාලය තුළ මුළු ලංකාවම ආවරණය පරිදි ග්‍රාමීය මට්ටමේ සිට නාගරික තරුණයා, වතුවල තරුණ ප්‍රජාව, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා පුනුරුත්ථාපන මධ්‍යස්ථාන වල ඉන්න තරුණ ප්‍රජාව, බන්ධනාගාරගත වෙලා ඉන්න තරුණ පිරිස්, තරුණ ලිංගික ශ්‍රමිකයන් වැනි විශේෂයෙන්ම ආන්තීකරණයට ලක්වූ තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා ලබාගැනීමටත් සැලසුම් කරලා තියෙනවා.
විශේෂම දේ මේ සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේදි ඒ වෙනුවෙන් වැඩිම දායකත්වය ලබාදෙන්නෙ තරුණ සේවා සභාවේ තරුණ පිරිසයි. ඉලක්කගත පිරිස සමඟ සාකච්ඡා කර අදහස්, යෝජනා ලබා ගැනීම වගේම සමාලෝචන සහ මෙහෙයුම් කමිටුවෙත් ඔවුන්ගේ නියෝජනය තියෙනවා.
ඒ වගේම ජනවාරි මාසය වන විට ජාතික තරුණ ප්‍රතිපත්තියේ කටයුතු අවසන් කරාට පස්සෙ ඒක ගැසට් කිරීම මගින් බලාත්මක භාවයක් ලබා දෙන්නත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීමටත් නියමිතයි.
මීට අමතරව මෙම ප්‍රතිප්තිය සකස් කිරීමේදී 2014 තරුණ ප්‍රතිපත්තියෙ සාධනීය කරුණුත්, එක්සත් ජාතින්ගෙ සංවිධානය විසින් තරුණ සංවර්ධනය සහ සවිබල ගැන්වීමට අදාලව ඉදිරිපත්කර ඇති කරුණු, සිංගප්පූරුව, මැලේසියාව වැනි ලෝකයේ සාර්ථක තරුණ ප්‍රතිපත්තිත් සලකා බැලීමට ලක්කරනවා. ඒ අර්ථයෙන් මේක අපේ රටේ එළිදැක්වෙන ප්‍රථම ජාතික තරුණ ප්‍රතිපත්තිය කියලා අපිට ආඩම්බරයෙන් කිව හැකියි.
ජාතික තරුණ ප්‍රතිපත්තිය එළිදැක්වෙන්නේ මෙම ක්‍රියාවලිය ඔස්සේ නම් ඒ ගැන සතුටු වෙන අය අතරේ ආරංචිරාළ ඉදිරියෙන්ම සිටින බව කිව යුතුය.
ආරංචි රාළ;2025.10.21. 150 වන දිගහැරුම



Comments
Post a Comment