චමත්කාරජනක ක්‍රියාකාරකම් ඔස්සේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් හඳුන්වා දුන් අපේ කාලයේ Study Coach; දීලීප වන්නිආරච්චි.
නියත වශයෙන්ම එය තවත් ටියුෂන් පන්තියක් නම් නොවේ.
අධ්‍යාපනය පිළිබඳව ඔස්තාර්ලා තමන්ගේ බැරිකම වසා ගන්න පාරම්පරික ක්‍රමවේද අනුගමනය කරනකොට අතිශයින්ම ආරක්ෂිත සහ සියලු වරප්‍රසාද සහිත තම රැකියාව අතහැර, ඔහු ඒ විප්ලවීය වැඩසටහන දරු දැරියන්ට හඳුන්වා දෙන්නේ වසර ගණනාවක් තිස්සේ ඉතා ගැඹුරු ස්වයං අධ්‍යනයක නිරත වීමෙන් අනතුරුවය.
චමත්කාරයෙන් අකුරු කරන්නට දරුවන්ට පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ ඔහු දරුවන්ගේ අධ්‍යාපනයේ හොඳම පාර්ශ්වකරුවාය.
Bon to Win Relationships නමින් තමන්ගේම ආයතනයක් ස්ථාපිත කර ගනිමින් ඔහු තම පළමු වන වැඩසටහන දරුවන් වෙත ඉදිරිපත් කරන්නේ වසර දහයකට පෙර අද වැනි දවසකය.
එක තැන පල් වෙන, විෂය පොත් බලාගෙන උගන්වන, එම පොත්වල ඇති කරුණු දරුවන්ට තමන්ගේ අභ්‍යාස පොත්වල ලියාගන්නැයි බලකරමින් ඔහේ පොත කියවන ගුරුවරුන්ට පමණක් නොව, මහා විද්වතුන් යැයි සිතාගෙන සිටින විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ මහාචාර්යවරුන්ටද ඔහුගේ මේ ඉගැන්වීම් ක්‍රමය සැබවින්ම අභියෝගයක් විය.
එය විජ්ජාවක්, මැජික් එකක් නොවේ. එය ජීවන ක්‍රමවේදයකි. ක්‍රීඩාවකි. නැටුමකි, චිත්‍ර ඇඳීමකි. ගායනයකි... නාට්‍යයක රඟපෑමකි. අවසානයේ දරුවා දැනුමෙන් පෝෂණය කරන සැබෑ යථාර්ථයකි.
ආරම්භයේදී බොහෝ දෙමව්පියෝ තමන්ගේ දරුවන් සමඟ ඔහු වෙත දිව ආහ. එහෙත් සමහරුන්ට මේ කරන්නේ කුමක්දැයි තේරුම් ගන්නට නොහැකි විය. මක්නිසාදයක්, දෙමව්පියන්ට අවශ්‍ය වූයේ තමන්ගේ දරුවා, වතුර භාජනයක කකුල් දෙක දමාගෙන හෝ පැය ගණනක් තිස්සේ පොතක් දෙස බලාගෙන පාඩම් කරනවා දකින්නටය.
දෙමවුපියන් දරුවන්ගේ අධ්‍යාපනය මනිනු ලබන්නේ, පාසලට යන දරුවාගේ හෝ ටියුෂන් පන්තියට යන දරුවාගේ විෂය පොතේ ලියා ඇති සටහන් අනුවය. මේ මනුස්සයා ඒ සියල්ල උඩුයටිකුරු කළේය.
අතිශයින්ම සංකීර්ණ ගණිත පාඩමක් සුදු ඩ්‍රෝයින් කොලයක් බලි රූපයක් ලෙස දරුවා ලවා සිතුවම් කරන්නට ඔහුට හැකි විය. චිත්‍ර, විවිධ වර්ණ සහ හැඩතල තුළින් ඕනෑම විෂයක් මනසේ රඳවා ගත හැකි ක්‍රමවේද ඔහු දරුවන්ට හඳුන්වා දුන්නේය. මේ වන විට ශ්‍රී ලංකාවේ, ඉගෙන ගන්න දරුවන්ට උගන්වන කාර්ය බහුලම පුද්ගලයා ඔහු විය යුතුය.
සාම්ප්‍රදායික සටහන් ලිවීම, කෙටි සටහන් ලියා පාඩම් කිරීම වෙනුවට අතිශයින්ම ආකර්ෂණීය ඉගෙන ගැනීමේ ක්‍රමවේද විස්සකට ආසන්න ප්‍රමාණයක් ඔහු මේ වන විට හඳුන්වා දී ඇත.
ඔහු නිතර, නිතර කියන දෙයක් ඇත. "කිසිම දරුවෙක් අදක්ෂයකු නොවේ. ඕනෑම දරුවෙකුට විශිෂ්ටයකු විය හැක"
අධ්‍යාපනය ලබා දිය නොහැක එය ලබාගත යුතුය. එසේ නම් එය ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමවේදයක් විය යුතුය.
ජා ඇල ප්‍රදේශයෙන් ආරම්භ කළ මෙම වැඩසටහන, මේ වනවිට යාපනය සහ ඩෙල්ෆ් ඇතුළුව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කර ඇත.
" අවිදු අඳුර
ලෝකෙන් දුර ලන්නට
සිල්ප සතර දැනගමු
අපි නිසි ලෙස
පාඩම් පොත්
සතුටින් තුරුලට ගෙන
චමත්කාරයෙන් අකුරු කරමු අපි."
අධ්‍යාපනයේ විප්ලවීය වෙනසකට මග පාදමින් එය දරුවන් සමඟ ජීවමානව අභ්‍යාසයේ නිරත වන දිලීප වන්නිආරච්චිට ආරංචි රාළගේ සුභපැතුම්
ආරංචි රාළ: 2025.10.03 - 146 වන දිගහැරුම





Comments
Post a Comment