ධීවරයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙනවා සේම, ධීවර කර්මාන්තය සුරැකීමටද නිසි වැඩ පිළිවෙලක් අවශ්‍යයි!

ධීවරයන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම හොඳ දෙයකි. මෙය කාලයක් තිස්සේ පැවති යෝජනාවක් වන අතර මීට පෙර පැවති රජයන්ද ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විවිධ යෝජනා සහ වැඩසටහන් ඉදිරිපත් කළ බව අපි දනිමු. එහෙත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ නිසා ජාතික ජන බලවේග රජය එය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බව පසුගිය 06 වෙනදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
 

විශ්‍රාම වැටුපක් අවශ්‍ය වන්නේ ධීවරයන්ට තවදුරටත් රැකියාවේ නිරත වීමට නොහැකි වූ විටය. ශ්‍රී ලංකාවේ  රාජ්‍ය සේවයේ විශ්‍රාම ගන්වන වයස වන්නේ අවුරුදු හැටය. එහෙත් අවුරුදු හැට, හැත්තෑවේ වැඩිහිටියන් බොහෝ දෙනෙක් ධීවර වෘත්තියේ නිරත වෙනවා අපි දකින්නෙමු. එසේ කිරීමට සිදුවන්නේ ඔවුන්ව නඩත්තු කර ගැනීමට පමණක් නොව තමන්ගේ පවුලද නඩත්තු කරන්නට සිදුවන වාතාවරණයක් නිර්මාණය වී ඇති නිසාය. කොයි හැටි වෙතත් මෙය ක්‍රියාත්මක කළ යුතුම වැඩසටහනක් බව ආරංචි රාළගේ අදහසයි.

ශ්‍රමයට සරිලන ගෙවීමක්: එහෙත් ආණ්ඩුවේ අවධානය තවත් පැති කීපයක් දෙස යොමු කිරීමට ආරංචි රාළට අවශ්‍යව ඇත. තවමත් බොහෝ ධීවරයන්, ධීවර වෘත්තීයේ යෙදෙන්නේ වෙනත් කෙනෙකුගේ ආම්පන්න වලිනි. නැතිනම් තවත් කෙනෙකුගේ මෙහෙයවීම යටතේය. මේ ආකාරයට ඔවුන් ධීවර වෘත්තීයේ නිරතව සිටින විට, ධීවරයා ගේ  ශ්‍රමයට සරිලන ගෙවීමක් ලබා ගැනීමේ අයිතිය ඔහුට තිබිය යුතුය. අවාසනාවකට බොහෝ ධීවරයන් තවමත් මුදලාලිලාගේ වහලුන්ය. තමන්ගේ ශ්‍රමයට ගෙවිය යුතු මුදල තීරණය කරන්නේ තමන් නෙලාගනු ලබන මත්ෂ්‍ය සම්පතේ වටිනාකම නොව මුදලාලිගේ අභිමතය ය. මා දැල් ධීවර කර්මාන්තය තුළ මෙය ඉතා තදින් සිදුවේ. මේ අසාධාරණය වෙනස් නොකර ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ධීවරයන්ගේ සැබෑ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමක් නොවන බව කිව යුතුමය.

මත්ස්‍ය සම්පත විනාශ වීම:  එසේම මේ වන විට කලපුවේ, රට තුළ ඇති මිරිදිය ජලාශවල සහ  වෙරළාසන්න  නොගැඹුරු මුහුදේ ධීවර කටයුතු  කිරීම අතහැර දැමීමට සුළු පන්න ධීවරයන්ට සිදුවී ඇත.

මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ, කලපුව සහ රට තුළ ඇති ජලාශ විවිධ මිනිස් සහ ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාකාරකම් නිසා දැඩි සේ දූෂණයට ලක් වීමෙන් එනිසා එම ස්ථානවල මත්ස්‍ය සම්පත විනාශ වී යාමයි. වෙරළට ආසන්න නොගැඹුරු මුහුදට ද මේ තත්ත්වය බලපා ඇත.

මසුන් බෝවෙන සහ වැඩෙන මත්ස්‍ය භූමියන් ආරක්ෂා නොකරන්නේ නම් ධීවරයාට මසුන් අල්ලන්නට තැනක් නැතුව යන්නේය.

ආම්පන්න වල අධික මිල සහ නැංගුරම් තොටුපළවල් නැතිවීම  : එසේම මේ වන විට ධීවර වෘත්තිය සඳහා යොදා ගැනෙන ආම්පන්න වල අධික මිල ගණන් නිසා අති විශාල මුදලක් ඒ සඳහා වැය කිරීමටද ධීවරයන්ට සිදුවී ඇත.

ධීවරයන්ට තමන්ගේ යාත්‍රා නවතා තැබීමට අවශ්‍යවන සහ මුහුදට යාත්‍රා අවදානමකින් තොරව දියත් කිරීමට හැකි නැංගුරම් තොටුපළවල් ඉදිකර දීමද ඒවා නිසි පරිදි නඩත්තු කිරීමද අතිශයින්ම වැදගත් වෙයි.

 විශ්‍රාමික ධීවරයන්ගේ ජීවිත ගැන සිතනවා සේම මේ වන විට ධීවර වෘත්තීයේ සජීවී ලෙස නිරතව සිටින ධීවර ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න සහ අවශ්‍යතාවයන් පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු විය යුතු බවයි, ආරංචි රාළගේ අදහස.

 

ආරංචි රාළ; 2026.01.09. 155 වන දිගහැරුම

 

Comments

Popular posts from this blog