ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගිය හැක්කේ අන්තර්කරණ ක්‍රියාවලියකින් පමණි.
කළු ජූලිය උගත් පාඩමක් ලෙස මිස විටින් විට පාරණතුවාලයක් කරගත යුතු නැත
( කළු ජූලිය වෙනුවෙන් ආරංචි රාල ලියූ විශේෂ සටහනකි).
ආරංචි රාළගේ කියවීම අනුව දෙමළ ජනතාව ඝාතනය කිරීම සහ බහුතර සිංහල ජනතාවක් ජීවත් වූ ප්‍රදේශවලින්
ඔවුන්ව කුරිරු ලෙස පලවා හැරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ 1983 කළු ජූලිය පැහැදිලි ලෙසම එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබල නායකයින්ගේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වූ නින්දිත සහ අමානුෂික ව්‍යාපෘතියකි.
ඒ සඳහා බොහෝ සිංහල ජනතාවගේ ද සහය ලැබුණු බව අප පිළිගත යුතුය. ඒ මහා පීඩනයට හසුවූ දෙමළ ජනතාව බේරා ගැනීමට ඉදිරිපත් වූයේද සිංහල ජනතාවමය. එයද අප පිළිගත යුතුය.
"අනේ, අපි නම් කළු ජූලියට සහාය දැක්වුවේ නැතැයි" කියා කිසිවෙකුට ඇඟ බේරාගැනීමට නොහැකිය. මක්නිසාදයත්, කඩු පොලු , පෙට්‍රල් කෑන් සහ ගිනි පන්දම් අරගෙන නොගියාට, "ඔය දෙමළුන්ට ගහන්නමයි ඕන කියන" සිංහලයෝ කණ්ඩායමක් ද මේ රටේ සිටි බව අපි අමතක නොකළ යුතුය. එසේ සිංහල මිනිස්සුන්ට සිතන්නටත් හේතු තියෙන්නට ඇත. කෙසේ වෙතත් කළු ජූලියේ මහා පාපයට අප වසර තිහකට වැඩි කාලයක් වන්දි ගෙව්වෙමු. අදටත් ඒ නරක විපාක විඳමින් සිටින්නෙමු.
උතුරු නැගෙනහිර සහ කඳුකරයේ සහෝදර දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව මගේ රටයි කියා ආඩම්බරයෙක් කිව හැකි දිනයක් උදාවෙන තෙක් අප විසින් ඉතිහාසයේ ඇතිකළ මේ කළු පැල්ලම නම් කිසි දිනකවත් මකා දැමිය නොහැකි වනු ඇත.
කොයි හැටි වෙතත් ආරංචි රාළ සිතන්නේ නම් අප කළු ජූලිය උගත් පාඩමක් ලෙස මිස විටින් විට පාරන තුවාලයක් කරගත යුතු නැත.
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය ඊයේ කළු ජූලිය සමරන්න කෝච්චියකින් යාපනයට ගියාය. යන අතරවාරයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර ජාතික ජන බලවේගයේ දේශපාලන නායකයන් මල් මාලා දමා පිළිගන්නා ආකාරයද සමාජ මාධ්‍යය උත්සව ආරංචි රාළ දුටුවේය.
සාම පණිවිඩය රැගෙන කෝච්චියෙන් සහ බයිසිකල් වලින් උතුරට ගිය පළමුවෙනි අවස්ථාව මෙය නොවේ. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමයේ සුදු නෙළුම් මල් ව්‍යාපාරය නම් වූ ආණ්ඩුවේ සාම ව්‍යාපෘතිය යටතේ සංවිධානය කළ සාම බයිසිකල් සවාරි වලට සහභාගි වූ තරුණ තරුණියෝ පසු කාලයේ හමුදාවට බැඳී දෙමළ සටන්කාමී සංවිධානවලට එරෙහිව යුද්ධ කරන්නට විය.
ගැඹුරු අධ්‍යාත්මයකින් තොරව සංවිධානය කරන සාම වැඩසටහන්වලින් ඊට වඩා දෙයක් අපේක්ෂා කළ නොහැකිය. කෙසේ වෙතත් මේවා සංවිධානය කරන අය මේ වැඩසටහන් තුළින් කිසියම් වින්දනයක් ලබා ගැනීම ගැන නම් ආරංචි රාළගේ අමනාපයක් නැත.
සාමය වෙනුවෙන් වැඩ කරනවයි කියන දැන් ආණ්ඩුවේ ඊනියා සාමය සඳහා වන ආයතන සහ ඒවායේ නායකත්වය දරන උගත්,බුද්ධිමත් ඇත්තෝද කරන්නෙත් මේවා මය.
උතුරු නැගෙනහිර සහ කඳුකරයේ අපේ සහෝදර දෙමළ ජනතාව පමණක් නොව සමස්ථ රට වැසියාම අපේක්ෂා කරන ජාතික සමගිය සහ සංහිඳියාව මෙවැනි සංදර්ශනාත්මක, හුදෙකලා වැඩසටහන් තුළින් උදාකර ගත නොහැකි බව මෙවැනි වැඩසටහන් සංවිධානය කරන නායකයින්ට ආරංචි රාළ මතක්කර දෙයි.
ආණ්ඩුව පැහැදිලි ලෙසම මේ මොහොතේ කළ යුතුව ඇත්තේ "පොහොසත් රටක්,ලස්සන ජීවිතයක්" වැඩසටහන මහ පොළොව මත පැළකිරීම සඳහා උතුරු නැගෙනහිර සහ කඳුකරයේ දෙමළ ජනතාව ක්‍රියාශීලීව සහභාගි කරවා ගැනීමය.
ආණ්ඩුවට ඉතා ලෙහෙසියෙන් එය කළ හැකිය. මක්නිසාදයත්; මේ මොහොත වන විට ජාතික ජන බලවේග ආණ්ඩුවේ උතුරු නැගෙනහිර සහ කඳුකරය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 24 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ සිටිති.
එම ප්‍රදේශවල ජනතාව ඔවුන්ව පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන ලද්දේ වසර 76 ක් පුරා දෙමළ ජනතාව නියෝජනය කළ පාරම්පරික දේශපාලන පක්ෂවල නායකයින් වෙනුවටය. දැන් ඔවුන් තමන්ගේ ජනතාවට නායකත්වය දෙන්නටත් එම නායකත්වය ජාතික තලය කරා රැගෙන යාමට සුදානමින් සිටිති.
මෙම දෙමළ ජනතාවගේ සැබෑ නියෝජිතයන් ඔස්සේ ඔවුන්ව අන්තර්කරණය කිරීමෙන් මිස වෙන කිසිවකින් මේ රටේ ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කළ නොහැකි බව ආරංචි රාළ ආණ්ඩුවට තරයේ මතක් කර සිටියි. එය කල හැකි වන්නේ උතුරු නැගෙනහිට සහ කදුකරයේ ජනතාවට තමන්ගේ නායකයින් ඔවුන්ට නායකත්වය දෙන බව සජීවී ලෙස දැනෙන වාතාවරණයක් තුල පමණි.
එය කරන්නේ කෙසේදැයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජාතික සමගිය සහ සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයින්ට කියා දෙන්නට ආරංචි රාළට බලා සිටියි.
ආරංචි රාළ: 2025.07.23 127 වන දිගහැරුම
Comments
Post a Comment