කේරල මුහුදේ ගිලෙන සිංගප්පුරු නැවේ ප්ලාස්ටික් පබළු අපේ මුහුදුවෙරලට.
"අලි මදිවට හරක් "
මේ වන විට ඉන්දීය කේරල මුහුදේ ගිලීගිය බහාලුම් සහිත වූ MSC Elsa 3 නෞකාවේ අහිතකර බලපෑම් ශ්‍රී ලංකාවේ බස්නාහිර මුහුදු තීරයේ කැපුන්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගාල්පිටිය, තලාහේන සහ පිටිපන ආදී ප්‍රදේශවලටද බලපාන්නට පටන්ගෙන ඇති බවට සලකුණු පහළ වී ඇති බව මීගමු කලපුව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අජිත් හැඩ්ලි පෙරේරා ආරංචි රාළ සමග පැවසීය.
එය සකල ශ්‍රී ලංකාවේ සමුද්‍ර හා වෙරළ තීරයට ඇති කරමින් ඇති බලපෑම ගැන ප්‍රමාණවත් තක්සේරුවක් තිබේදැයි අවබෝධයක් තවම කිසිවෙකුට නැත.
X press Pearl නෞකාවේ හානිකර බලපෑම්වලින් තවමත් මිදී නැති මොහොතක "අලි මදිවට හරක් " යැයි කියැවෙන අකරතැබ්බයකට යළි මුහුණ දෙන්නට සිදු ව ඇත.
ධීවර අමාත්‍යාංශය, මීපා, වෙරළාරක්ෂක අධිකාරිය ඇතුළු ආයතන දැන් ඉතිං මේ ගැන අප්‍රමාදව ක්‍රියාත්මක විය යුතුය.
මීපා ආයතනය මේ වන විටත් වෙරළට ගොඩ ගසන ප්ලාස්ටික් පබුලු ඇට එකතු කිරීමට කාන්තාවන් බඳවා ගන්නා බව සැලයි. මේ කටයුත්තේදිත් පුංචි පුංචි ජිල්මාල් සිදුවෙන බව වටින් ගොඩින් ආරංචි රාළට ආරංචි වෙයි.
නිතර නිතර ගිනි ගන්නා සහ මුහුදේ ගිලෙන අහිතකර රසායනය ද්‍රව්‍ය සහිත නෞකාවල ප්‍රවාහනය පිළිබඳව මීට වඩා ආරක්ෂිත ක්‍රමවේදයක් තිබිය යුතු යැයි ආරංචි රාළ තදින් විශ්වාස කරයි.
මීගමු කලපුව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු පවසන්නේ; මුහුදට මෙන් ම ලංකාවේ මුහුද ආශ්‍රිත කළපු පද්ධතියට මෙන් ම ගංගාවනට ද මෙහි බලපෑම් ඇතිවන අතර වහා ඊට ප්‍රතිකර්ම යෙදිය යුතු බවය. එමෙන් ම අපගේ මුහුදු කලාපයට, එහි මත්ස්‍ය සම්පතට, කොරල් පර පද්ධතියට එමගින් සිදුවන හානියට වගකිව යුත්තෝ කවරහු ද?
හුදු සමුද්‍ර පරිසරය ද? නැව් සමාගම ද? එහි රක්ෂණ සමාගම ද? අදාළ රාජ්‍යය ද?ඔහු ප්‍රශ්න කරයි. ආරංචි රාළටත් මෙය ඇත්තෙන්ම උභතෝකෝටිකයකි.
කිසියම් අධිකාරියක් හෝ අධිකාරි සමූහයක් ඊට වගකිව යුතුම ය. ඒ සඳහා නාවුක හා සමුද්‍ර පරිසරයට අදාළ නීති රීති සකස්විය යුතුම ය.
සියල්ලටම වඩා සමුද්‍ර පරිසරය වනසාලන මෙවන් අනතුරු නොවිය හැකි ආකාරයට අදාළ විෂ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා වෙනත් ක්‍රමවේද ගැන ජාත්‍යන්තර සංවිධාන හා ආයාතන සිතා බැලිය යුතු ය. නො එසේ නම් ලෝක මහා විනාශය නො සිතන ආකාරයකින් සිදුවීම වැලැක්විය නො හැක. අජිත් හැඩ්ලි පෙරේරා තවදුරටත් පැවසිය.
ආරංචි රාළ 2025.07.06. 122 වන දිගහැරුම
Comments
Post a Comment