දහම් පාසැලේ දහම

මුළු දහම් පාසල් සංකල්පයම පුළුල් පුනර් ජීවනයකට යටත් කළ යුතුව ඇත.

"අට පහු වෙලා එන අය හිටගෙන ඉන්න ඕන. නැතිනම් හැමදෙනාටම පේන්න ඉස්සරහට වෙලා ඉන්න ඕන. නිළ ඇඳුමෙන් එන්න ඕනෑ. කාඩ් එක අත්සන් කරන්න ඕන.

මේවා හරියට කරනවද කියලා දෙමව්පියෝ බලන්න ඕන. එහෙම නැත්තං දඩුවම් විඳින්න ඕන ". 

මේ උසාවියක, පොලිසියක, සිර කඳවුරක නොව දහම් පාසැලක දණ්ඩ නීති සංග්‍රහයයි.

 සමහර පවුල් වල පාසල් වියේ දරුවන් පමණක් නොව අත දරුවෝ ද සිටිති. මේ සියලු දරුවන් උදෑසනම පුබුදුවා, මුහුණකට පිරිසිදු කරගෙන, කවා පොවා, ඇඳුම් අන්දවා, වතුර බෝතල්, කෑම, පොත්පත් සහිත බෑග්, දරුවන්ගේ කරේ පටවා අම්මලා තාත්තලා හනි හනික පල්ලියට දුවති. එසේ නොකළහොත් අපායට යෑමට සිදුවේ යැයි සිතාගෙන මෙන්ය.

පල්ලියේදී ළමයි මැටි රූප බවට පත් වෙති. සිනාසීමත් තහනම් නිසාය. ඒ මදිවට සමහර සුවාමිලා තමන්ගේ පොතේ දැනුම පෙන්වමින් දීර්ඝ, අවවාදාත්මක දේශන පවත්වති. ළමයින්ට දිගු වේලාවක් එකම ඉරියව්වෙන් සිටිය නොහැකි බව දහම් පාසල් ගුරුවරු දන්නේ නැත. ඒ නිසා පල්ලිය තුළ මැටි රූප බවට පත්වෙන ළමයි එළියට එන්නේ බලි රූප ස්වරූපයෙනි.මේ සියලු වැඩකටයුතු අවසන් වන විට මද්දහනයට ළංවෙයි. ගෙදර ගොස් කරන්නටද නහුතයක් වැඩ තිබේ. ළමුන් පමණක් නොව, මාපියන්ද බඩගින්නේ, පිපාසයෙන්, ක්ලාන්ත ගතියෙන් පසු වෙති.

මේ අතරතුර මිනිසුන්ට අධ්‍යාත්මික සුවයක් වෙනුවට ආගමික ස්ථානවලින් එල්ල වන්නේ දැඩි පීඩනයකි. ඒ පීඩනය තවත් දැඩි වන්නේ සමහර දහම් ගුරුවරුන් දණ්ඩ නීති සංග්‍රහය අකුරටම ක්‍රියාත්මක කිරීම නිසාය. එසේ කරන්නේ සමහරවිට සුවාමිගේ සිත දිනා ගැනීමට විය හැකිය. නැතහොත් "හොඳම දහම් පාසැල අපේ දහම් පාසලය "  යන මේනියාව සිතේ දරාගෙන විය යුතුය. එසේත් නැතිනම් මිනිසුන් ඉදිරියේ තම බලපරාක්‍රමය පෙන්වාදීමට විය හැකිය.

මෙයින් සිදුවන්නේ දරුවන්ට දහම් පාසැල අප්‍රියජනක තැනක් බවට පත්වීමය.

දහම් පාසල, දහම් ගුරුවරුන්ගේ ශිල්ප දක්වන තැනක් හෝ පුද්ගලයන්ගේ සහ පල්ලිවල මහන්තත්වය උත්කර්ෂයට නංවන තැනක් වෙනුවට ජේසුතුමා වෙත ළමයින් සිතිවිල්ලෙන් සහ ක්‍රියාවෙන් ළංකරවන තැනක් විය යුතුය.

ඒ සඳහා දහම් සේවීන් මන සංයමයකින් හා දයා ප්‍රේමයෙන් යුත්, ළමා මනෝවිද්‍යාව පිළිබඳවද දැනුමක් ඇති, පුහුණුවක් ලැබූ අය බවට පත් විය යුතුය.

එසේ නොවුනහොත් "බාලයන්ට මා වෙතට ඒමට ඉඩ දෙන්න " යන ජේසුතුමාගේ හඬට ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමට හැකි නොවනු ඇත.

දැන් දැන් පෞද්ගලික පාසල් අනුව යමින් සමහර දහම් පාසැල්ද දෙමාපියන් මත අනවශ්‍යය මූල්‍යමය පීඩනයන්ද පැටවීමට පටන් ගෙනය. ඒවා ලැයිස්තුගත කිරීම මෙවන් ලිපියකට බර වැඩිය. අලුත්ම හිරිහැරය නම් නිළ ඇඳුම් පිළිබඳ නියෝගයන්ය.

දිළිඳු දරුවන් හා දෙමාපියන් පල්ලියෙන් ඈත් කරවන මේ වාණිජත්වයෙන් මිදිය නොහැකි නම්, සමාජයේ කොටසකගේ තත්ත්වය පිළිබිඹු කරන තවත් එක් "සමාජයක් " බවට පල්ලියත්, දහම් පාසැලත් පත් වෙනු ඇත. දැනටමත් එවන් තත්ත්වයක පෙර ලකුණු පහළ වී ඇත.


මෙවැනි "සමාජයන් " සුභ ආරංචිය ප්‍රකාශ කිරීම යනුවෙන් අදහස් කරන්නේ එවැනි තත්ත්වයක් දැයි සැක සිතේ. 

දෙමාපියන්ගේ පැතුම දහම් පාසැල තුළින් තම දරුවන් සුචරිතවත් පරපුරක් බවට පත් කිරීමය. එම පැතුම සාක්ෂාත් කර ගැනීමට නම්, පවතින තත්ත්වය අනුව, මුළු දහම් පාසල් සංකල්පයම පුළුල් පුනර් ජීවනයකට යටත් කළ යුතුව ඇත.

ආරංචි රාළ : 2025.07.10 : 124 වන දිගහැරුම                                                                              කැනඩාවේ වෙසෙන එච් ෂෙල්ටන් පීරිස් ලියු සටහනකි..

 

 

 

Comments

Popular posts from this blog