ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට රත්තරන් අවස්ථාවක් !

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට රත්තරන් අවස්ථාවක් (A Golden Opportunity for National Unity and Reconciliation   ) ජාතික ජන බලවේගය ආණ්ඩුවට ලැබී ඇත.

2024 සැප්තැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර සහ කදුකර ජනතාව "එක රටක් තුළ එක් නායකත්වයක් සමග ශ්‍රී ලාංකික ජනතාවක් " ලෙස ජීවත්වීමට  තමන්ගේ ඇති කැමැත්ත කිසියම් ආකාරයකට ප්‍රකාශ කළ අතර 2024 නොවැම්බර් මාසයේ මහා මැතිවරණයේදී  එය නියතවශයෙන්  තහවුරු කළේ පාරම්පරික වර්ගවාදී ඊනියා ප්‍රභූ දෙමළ සහ මුස්ලිම් දේශපාලන නායකත්වය ප්‍රතික්ෂේප කර ජාතික ජන බලවේගයෙන්  තමන්ගේ  නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමෙනි.

අවාසනාවකට ජාතික ජන බලවේගයේ නායකත්වයට මේ ජනතාවගේ ඇති කැමැත්ත සහ ආශාව නිසි ලෙස තක්සේරු කර ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස මැයි මාසයේ පැවති පාලාත් පාලන මැතිවරණයේදී ජනතාව තමන්ට ලබා දුන් වරය ගම් මට්ටමින් තහවුරු කර ගැනීමට නොහැකි විය.

කෙසේ වුවද  සමස්ථ  ශ්‍රී  ලංකා ද්වීපයම ආවරණය වන පරිදි සෑම ජන කොටසක් සහ විවිධ මතවාදයන් නියෝජනය කරන පාර්ලිමේන්තුවක් අද මේ රටේ බිහිවී ඇත.

එහෙත් අවාසනාවකට අද පාර්ලිමේන්තුව ඔස්සේ රටට ඇසෙන්නේ ජාතික සමගිය සහ ඒකාබද්ධතාවය සඳහා කැපවීමෙන් සහ උනන්දුවෙන් වැඩ කරන ජනතා නියෝජිතයන්ගේ හඬ වෙනුවට මෙරට නැවතත් බෙදා වෙන් කිරීමට වෙර දරන පටු දේශපාලන මතවාදවල හිරවී සිටින ඉතා සොච්චමක්වූ උතුරු නැගෙනහිර ජනතා නියෝජිතයන් කීප දෙනෙකුගේ හඩ පමණි.  

ජාතික ජන බලවේගයට 2024 මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර සහ කඳුකරයේ   මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට  ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට අවස්ථාව ලැබුණි. (යාපනය - 3, වන්නි- 2, මඩකලපුව - 1, නුවරඑලිය  -5, දිගාමඩුල්ල - 4, ත්‍රිකුණාමලය -.2, බදුල්ල 6, මාතලේ - 4 මෙහි අතිබහුතරය දෙමල සහ මුස්ලිම් ජනතා නියෝජිතයන්ය.)


මේ නියෝජනය ජාතික ජන බලවේගයට ලැබෙන්නේ 1977 සිට  උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් ඉල්ලා අරගල කළ  කණ්ඩායම්වලට  කොන්දේසි විරහිතව සහාය දක්වමින් බෙදුම්වාදී කණ්ඩායම්  වල රූකඩ බවට පත්ව සිටි දෙමළ දේශපාලන පක්ෂවලට විකල්පයක් ලෙස ය.

එසේ නම් ජාතික ජන බලවේග ආණ්ඩුවට මින් පෙර  කිසිදු රජයකට නොතිබු පැහැදිලි ජාතික නියෝජනයක් ඇති අතර එය උතුරු නැගෙනහිර පමණක් නොව කඳුකරයේදී ද පැහැදිලි ලෙස දැකිය හැකිය.

2024 මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ජනතාවගේ පැහැදිලි පණිවිඩය වූයේ තමන් ජාතික නායකත්වයක් තුළ  එක් ශ්‍රී ලංකාවක් ලෙස ජීවත්වීමට ඇති කැමැත්ත සහ ඔවුන්ගේ ඇති කැපවීමයි.

එසේ නම් ආණ්ඩුව දැන් කළ යුත්තේ කුමක්ද?

උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ජනතාව විසින් තමන්ගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පත්කරගෙන සිටින එම නියෝජිතයන්ට තම ප්‍රදේශයේ සහ පළාත්වල  ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන් තුළ කටයුතු කිරීමට නායකත්වය ලබාදීම මෙන්ම ජනතාව එම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමයි.

මේ සදහා ජාතික ජන බලවේගය ආණ්ඩුවට උතුරු නැගෙනහිර සහ කඳුකර නියෝජනය වන ජාතික මට්ටමට පැමිණිය හැකි නායකත්වයක් අවශ්‍ය වේ.

මෙම නායකත්වයට මතුවීමට ඉඩදීම සහ ඔවුන්ට එම තලයට පැමිණීමට ඇති අවකාශය සහ වපසරිය සකස් කිරීම ජාතික ජන බලවේගයේ නායකත්වයේ වගකීම වේ.

උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ජනතාවට තමන් මේ රටේ සැබෑ පුරවැසියන් බව ප්‍රායෝගිකව වටහා ගන්නා සහ  ඔවුන්ට ඒ බව මනසින් දැනෙන අවස්ථාව නිර්මාණය කිරීමට  තුලින් ජාතික සමගිය  සහ ජාතික ඒකාබද්ධතාවය ගොඩනැගිමේ රත්තරන් අවස්ථාව දැන් උදාවී ඇත.

ආරංචි රාළ 2025.07.05 :121වන දිගහැරුම




 

 

 







 



  

  

Comments

Popular posts from this blog