තරුණ සේවා සභාව දේශපාලනීකරණය නොවිය යුතුමය !

තරුණ සේවා සභාව ස්ථාපිත කරනු ලැබුවේ 1967 අංක 11 දරණ ස්වෙච්ඡා ජාතික තරුණ සේවා පනත යටතේ 1969 ජනවාරි 29 වෙනි දින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේදීය.  1970 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වී වසරකට අඩු කාලයක් තුලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද හැත්තෑ එකේ කැරැල්ල ඇති විය. එම කැරැල්ල සෘජුවම සමගි පෙරමුණ ආණ්ඩුවට එරෙහිව දියත් වූ කැරැල්ලකට වඩා ඒ වන විට පැවති පාලන ක්‍රමවේදයට එරෙහිව තරුණියන්ගේ නැගිටීමක් ලෙස සැලකිය හැක.

කෙසේවෙතත්, සමගි පෙරමුණ ආණ්ඩුව තරුණ සේවා සභාව පිළිබඳව එතරම් විශ්වාසයක් තැබූ බවක් නම් පෙනෙන්නට නැත. සමහර විට එය එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කළ නිසා විය හැක.

කෙසේ වෙතත් 1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1980 ජනවාරි 01 වෙනිදා වඩා ශක්තිමත්, එසේම ආණ්ඩුවේ පූර්ණ අධිකාරීත්වය ඇතුව 1979 අංක 69 දරණ ජාතික තරුණ සේවා පනත යටතේ ජාතික තරුණ සේවා සභාව පිහිටුවන ලදී.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජාතික තරුණ සේවා සභාව වඩා ශක්තිමත් තරුණ සංවිධානයක් ලෙස ඉදිරියට ගෙන ඒම පිටුපස හේතු ගණනාවක් තිබුණි.

එම හේතු බොහෝමයක් තුළම සැබෑ තරුණ සංවර්ධනයක් සඳහා තරුණ තරුණියන් සහභාගි කරවා ගැනීම වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ වැනි විප්ලවවාදී තරුණ ව්‍යාපාරයකට තරුණ තරුණියන් යොමුවීම වළක්වා ඔවුන් පවතින ආණ්ඩුවට සහාය දක්වන කණ්ඩායමක් ලෙස තබා ගැනීමේ ප්‍රධාන අවශ්‍යතාවයක් රජයට තිබූ බව නම් පැහැදිලිය.

තරුණ තරුණියන් සැබෑ ලෙස බලගන්වන ආයතනයක් වෙනුවට එය ආණ්ඩුව තුළ සහ ආණ්ඩුවට ගැතිකම් කරන තරුණ තරුණියන් ඒකරාශී කරන ආයතනයක් බවට පත්වූයේ මේ නිසාය. 1980 සිට මේ දක්වා තරුණ සේවා සභාව ක්‍රියාත්මක වුයේ පවතින ආණ්ඩු වල පැවැත්ම සහ ඕනෑ එපාකම් වෙනුවෙනි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ "යොවුන් පුරය" සහ පොහොට්ටු ආණ්ඩුවේ "තාරුණ්‍යයට හෙටක්" ඒ ඒ ආණ්ඩුවල දේශපාලන න්‍යාය පත්‍රයන් වල අවශ්‍යතාවයන් වෙනුවෙන් මිස තරුණ තරුණියන් බලගැන්වීම සදහා ක්‍රියාත්මක කළ වැඩසටහන් නොවේ.

2015 යහපාලන ආණ්ඩුව බලයට ඒමට පෙර "ජාතික තරුණ ප්‍රතිපත්තියක්" කඩිමුඩියේ එළිදැක්වූවද එය කවුරුන් විසින් කා සඳහා සම්පාදනය කෙරුවා දැයි පැහැදිලි නැත.

ලෝකයේ තරුණ සංවර්ධන වැඩසටහන් ආරම්භ වන්නේ 1800 මැද භාගයේදී කාර්මික විප්ලවයත් සමග තරුණ තරුණියන් ඒ ඒ රටවල ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදීමත් සමඟය.  මෙහිදී තරුණ තරුණියන් පූර්ණ මිනිසුන් ලෙස සමාජය තුළ ස්ථානගත කරවීම සදහා, ඔවුන් ශාරිරිකව, මානසිකව සහ අධ්‍යාත්මිකව බලගැන්වීම සදහා තරුණයන් වෙනුවෙන් මෙන්ම තරුණයන් සඳහා විවිධ සංවිධාන බිහිවිය.

අවාසනාවකට තරුණයන් ලෙස මේවාට  සම්බන්ධ වූ බොහෝ  පුද්ගලයින් තමන්ගේ තරුණ විය නිමවූ පසුවත් ඒවායේ රැඳෙන්නට වීම නිසා එම සංවිධාන වල ක්‍රියාකාරකම්වල යාවත්කාලීන වීමක් හෝ නැවුම් බවක් දකින්නට ලැබුණේ නැත.

ජාතික තරුණ සේවා සභාවට අත් වූයේදී මෙම ඉරණම මය. එහි වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ නින්දිත ලෙස පටු දේශපාලනික අවශ්‍යතාවයෙන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක තත්ත්වයට පත්වීමයි.


2024 ජනාධිපතිවරණයට පෙළ ජාතික ජන බලවේගය තම තරුණ ප්‍රතිපත්තිය එළි දක්වන්නේ මෙවන් වාතාවරණයක් තුළය.

තරුණ සේවා සභාවේ පැවැත්ම රඳා පවතින්නේ ගම් මට්ටමින් තරුණයන් සංවිධානය කිරීම සඳහා පිහිටවනු ලබන යෞවන සමාජය යි.

සැබවින්ම මෙය කිසිම දේශපාලන පක්ෂයක මතවාදයකට කොටු නොවී ස්වාධීන සහ නිදහස් ලෙස  තරුණියන්ට ඒකරාශී වීමට හැකි ස්ථානයක් විය යුතුය.

ඒත් ආරම්භයේ පටන්ම එය එසේ සිදු වූයේ ම නැත.  එම නිසා යෞවන සමාජ  බලයේ සිටින  ආණ්ඩුවේ තවත් එක් දේශපාලන ව්‍යුහයක් බවට පත්වීම අවාසනාවකි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ යෞවන සමාජ නැවත බලගැන්වීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

එම ක්‍රියාවලියට ඊනියා ස්වාධීන තරුණ තරුණියන් යැයි කියාගන්නා අයගේ වැඩි කැමැත්තක් නැති බව පෙනේ. මක්නිසාදයත්, මින් ඉදිරියට  යෞවන සමාජ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති යට අනුව ක්‍රියාත්මක වන බව ඔවුහූ දනිති.

ආණ්ඩුව ද යෞවන සමාජ වලට ස්වාධීනව සහ නිදහස්ව හැසිරෙන්නට ඉඩ දෙන බවක් පෙනෙන්නට නැත.

මේ නිසා මේ වන විටත් කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙන බව විවිධ ප්‍රදේශවලින්  ලැබෙන පුවත් වාර්තා තුළින් පැහැදිලි වේ.

තමන්ගේ දේශපාලන බලය සහ අධිපතිත්වය  තහවුරු කරගැනීමේ අරගලයක් බවට තරුණ සේවා සභාව පත්කර ගතහොත්  නියත වශයෙන්ම බිහිවනු ඇත්තේ කිසියම් නිශ්චිත දේශපාලන මතවාදයකට යටවුණු යෞවන සමාජ සමූහයකි.

ආණ්ඩුව තමන්ට ලැබී ඇති  බලය පාවිච්චි කර, මේ වන විට තමන්ට ජනවරම ලබාදී ඇති තරුණ ප්‍රතිපත්තිය ක්‍රියාකාරී සැලැස්මක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමේ වරදක් නැත. එහෙත්  එය එක්තරා දේශපාලන කණ්ඩායමක  තරුණ ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් ලෙස නොව  සමස්ථ තරුණ ජනතාවගේම අපේක්ෂාවන් වෙනුවෙන් නිර්මාණය වූ ප්‍රතිපත්තියක්  හෝ වැඩපිළිවෙලක් විය යුතුමය..

එසේ නොවන්නේ නම් ජාතික තරුණ සේවා සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන බොහෝ වැඩසටහන් නිශ්චිත තරුණ කණ්ඩායමක් පමණක්  තෘප්තියට පත් කරවන අතර තවත් කණ්ඩායමක් අසහනයට පත් කරන තත්වයක් ඇතිවීම කිසිවිටක වැළැක්විය නොහැකි වනු ඇත.

එබැවින් තරුණ සේවා සභාව දේශපාලනීකරණය නොවී ස්වාධින  බලවේගය කටයුතු ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට ජාතික ජන බලවේගය කටයුතු කලයුතු බව ආරංචි රාළ තරයේ අවදාරණය කරයි.

 

ආරංචි රාළ  2025.08.03. 128 වන දිගහැරුම

 


 

Comments

Popular posts from this blog