සංවර්ධන ව්‍යාපෘතීන් වල මුල් අදියර වලදී යම් පාරිසරික නොගැළපීම් සිදුවූ වත්, පසු කාලයක ඒවා  ක්‍රමානුකූලව  පරිසරයට අන්තර්ග්‍රහණය වෙනු ඇත.

මන්නාරම ප්‍රදේශයේ ඉදිකරන සුළං විදුලි බලාගාර පිළිබඳව එම ප්‍රදේශයේ මෙන්ම දිවයිනේ පරිසර සංවිධානවල ලොකු විරෝධතාවයක් මතුවූ අතර අවස්ථා කිහිපයකදීම සංවිධානාත්මකව එම සුළං විදුලි බලාගාර ඉදිකිරීමට විරෝධය පළ කිරීම ජන මාධ්‍ය තුළින් ආරංචි රාළ දුටුවේය.

 

මතු වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක(13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඒ සඳහා බලශක්ති  සහ පරිසර ක්ෂේත්‍රය ඇතුළුව මන්නාරම ප්‍රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම ආගමික නායකයන් ද සහභාගි වී සිටියහ.

මෙම සාකච්ඡාවේදී නියත වශයෙන්ම මන්නාරම ප්‍රදේශයේ ජීවත් වෙන ධීවර ජනතාවට මෙන්ම ගොවි ජනතාවට මේ සුළං විදුලි බලාගාර නිසා ඇතිවිය හැකි බලපෑම පිළිබඳව මෙන්ම මෙම ඉදිකිරීම් සඳහා කරනු ලබන කැණීම්වලදී එම ප්‍රදේශයට ඇතිවිය හැකි ගංවතුර තර්ජනය පිළිබඳව ද සාකච්ඡා කරන්නට ඇතැයි ආරංචි රාළ විශ්වාස කරයි.

අනතුරුව මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ මෙම සාකච්ඡාවෙන් මතු වූ කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමෙන් පසු ජනාධිපතිවරයා මෙම සුළං විදුලි බලශක්ති ව්‍යාපෘති ඉදිකිරීම තාවකාලිකව මාසයකට කල් දමා ඇති බවය.

ඒ සමගම ජනාධිපතිවරයා ඉතා වැදගත් ප්‍රකාශයක්ද කළේය. එනම්;

" ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී ඊට සම්බන්ධ වෙන සෑම පාර්ශවයක් සමග සාකච්ඡා කළ යුතු අතර එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ එකඟතාවය මෙම සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ලැබිය යුතුය" යන්නයි.

රට තුළ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා කැපවී සිටින ජාතික ජන බලවේගයේ නායකත්වයෙන්  එවැනි ප්‍රකාශයක් නිකුත් වීම ගැන ආරංචිරාළ තම සතුට පළ කළ සිටියි.

එහෙත්, ආරංචි රාළට මේ ගැන කියන්නට දෙයක් ඇත.මේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා අතිශයින්ම වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයයි. එය කිසිවෙකු ප්‍රතික්ෂේප නොකරන බව ආරංචි රාළගේ විශ්වාසයයි. බලශක්තිය උත්පාදනය කිරීම සඳහා ඉදි කරනු ලබන කුමන ව්‍යාපෘතියකදී 100% ක් පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කර ගතයුතු බව සැබවින්ම මිත්‍යාවකි. අපේ රටේ ජල විදුලි බලාගාර  ආරම්භ කිරීමේදී ඒ සඳහා කරන්නට සිදු වූ ඉදිකිරීම් නිසා කඳුකරයේ පරිසර පද්ධතිය උඩුයටිකුරු වූ බව අපි දනිමු. එය ලෝකයේ ඕනෑම රටක සිදුවනු ඇත.

නොරොච්චෝලේ තාප බලාගාරය ඉදිකිරීම පිළිබඳව වුවද කිව යුතුව ඇත්තේ මෙම කතාවමය. බලශක්තිය උත්පාදනය කිරීම සඳහා කරනු ලබන ඕනෑම ව්‍යාපෘතියකින් පරිසරයට මුදා හරින වායූන් නිසා පමණක් නොව ඒ සඳහා යටිතල පහසුකම් සකස් කිරීමේදී පවතින පාරිසරික තත්ත්වයන් යම් ආකාරයට වෙනස් කිරීම අනිවාර්යෙන්ම කළ යුතු වන්නේය.

ඒත් කිසියම් නිශ්චිත කාලයකදී මෙම කරනු ලබන වෙනස් කිරීම් ක්‍රමානුකූලව පරිසරය සමග බද්ධ වන අතර මේ සියලු ව්‍යාපෘතීන් අපගේ පරිසරයේම කොටස් බවට පත්වනු ඇත. ලෝකයේ පැවැත්ම තීරණය කරන්නේ ඒ අනුවය. එබැවින් රටේ සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කරන කිසිදු ව්‍යාපෘතියක් දෙස අප පුළුල් වපසරියකින් අධ්‍යයනය කළ යුතු වන්නේය.

ආරංචි රාළ පරිසරයට ආදරය කරන්නෙකි. මනුෂ්‍යයා, සතුන්, ගහකොළ වැල්, වෙරළ තීරය, කඳු වැටි සහ මේ මහ පොළොව එහි ජීවත් වන සතුන්ගේ පැවැත්ම වෙනුවෙනි. සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කරන අවස්ථාවලදී යම් යම් නොගැළපීම් සිදුවුවත් ඒ ඉදිකිරීම් ඉතා ක්‍රමානුකූලව නිශ්චිත කාලයකදී පරිසරයට අන්තර්ග්‍රහණය වෙනු ඇත.

සංවර්ධනය සඳහා යන ගමන ඒ තරම් පහසු නැත.

සුළං බලාගාර ඉදිවිය යුත්තේ සුළං හමන ප්‍රදේශයකය. ලෝකයේ බොහෝ රටවල්වල මෙවැනි සුළං බලාගාර ඉදිවී ඇත. එම රටවල මෙම බලාගාර සහ එම ප්‍රදේශවල ජනතාවද සංහිඳියාවෙන් යුතුව ජීවත් වෙති.

ඒ රටවල් සංවර්ධනය වී ඇත්තේ නිසාය.

 

ආරංචි රාළ: 2025.08.15. 133 වන දිගහැරුම

 

  

Comments

Popular posts from this blog