අතුරුදහන් වූවන් වෙනුවෙන් නැගෙන පාළු කරයේ හඬ - බ්‍රිටෝ ප්‍රනාන්දු.
අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතු වූ අවස්ථාවක ඉතාමත් සංවේදීව බ්‍රිටෝ ප්‍රනාන්දු ඔවුන් අමතණු ආරංචි රාළ අසා සිටියේය. තමන්ගේ ඥාතීන් - හිතවතුන් නොවන අයගේ විපතකදී එලෙස සංවේදී විය හැක්කේ සමාජයේ අතළොස්සක් දෙනෙකුට පමණකි. වින්දිතයන් වෙනුවෙන් සියලු අභියෝගයනට එරෙහිව ක්‍රියා කළ හැක්කේ එයිනුත් අතළොස්සකටය.
ඔහු ඒ අතළොස්සෙන් එක් අයෙකි.
ඔහු කළ කතාවේදී එක් සඳහනක් ගැන ආරංචි රාළට එකඟ විය නොහැකිය. වසර තිහකට වැඩි කාලයක් තිස්සේ අතුරුදහන් වුවන් වෙනුවෙන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සිදුකරමින් සිටින අරගළයේදී සාර්ථකත්වයක් ලබාගන්නටත් තවමත් අසමත්ව ඇතැයි ඔහු හැඟුම්බරව කළ ප්‍රකාශයට ආරංචි රාළ එකග වන්නේ නැත.
අප වැඩි දෙනෙක් ඇස් ඇතිව, ඒත් නොදකිමින්, කන් ඇතිව ඒත් නොඅසමින් නින්දේ පසු වන විට, අතුරුදහන් වුවත් වෙනුවෙන් හඬ නගන්නට, බලධරයන් හා හැප්පෙන්නට ඔහුට ශක්තියක්ද ධෛර්යයක් ද විය.
නිද්‍රාශීලී සමාජයක, හඬ නැගීමම වූවද ප්‍රමාණවත්ය. එසේ නොකළහොත් අතුරුදහන්ව ඇති මේ දහස් ගණන් ජීවිත ජාතියේ හෘද සාක්ෂියටද අමතකව යනු ඇත.
බ්‍රිටෝ ප්‍රනාන්දු වැන්නන්ගේ උත්සාහයන්ගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ සංඛ්‍යාත්මක අගයන්ගෙන් නොව ඔහු ඒ සඳහා යොදවා ඇති පරිත්‍යාගයේ ප්‍රමාණය අනුවය. ඔහු සතු සියල්ල මෙම මහර්ඝ මෙහෙවරට යොදවා ඇත. ඔහුට පෞද්ගලික ජීවිතයක් නැති තරම්ය. සියල්ල අතහැර කුරුසිය දරා අති දුෂ්කර ගමනක යෙදෙන්නෙකි ඔහු.
සමහර විට අපට කිසි දිනක අතුරුදහන් වූ අය ගැන හෝඩුවාවක් දැනගන්නට නොහැකි වන්නට ඉඩ තිබේ. එහෙත් ඔහු වැන්නන් කරන අරගළය නිසා ඔවුන් පිළිබඳ මතකය ජාතියේ ඉතිහාසගත සටහනක් වනු ඇත. ඒ සමගම බ්‍රිටෝ ප්‍රනාන්දු වැනි අරගළකරුවන් පිළිබඳ මතකයද එම ඓතිහාසික සටහන් අතර හොල්මන් කරනු ඇත. ඉරණම විසින් බාර දී ඇති කාර්යය ඉටු කරමින් සිටින නිසා ඔහුට තෘප්තිමත් විය හැකිය.
අතුරුදහන් වුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ඉරණම ඔහුගේ නිර්මාණයක් නොවේ. එහෙත් ඔවුන් පිළිබඳ සහකම්පනයක් ඇතිකර ගැනීමට අප කාටත් ණය යුක්තියක් තිබේ. බ්‍රිටෝ ප්‍රනාන්දු සමාජයට දෙන පණිවිඩය එයයි. එම පණිවිඩය කවුරුන් පිළිගත්තත් නැතත් ඔහු කම්පා විය යුතු නැත.
අතුරුදහන් කිරීමට නියමිතව සිටි අයෙක් දැන් රාජ්‍යයේ නායකයාය. ඔහුට මේ පිළිබඳව සහ කම්පනයක් ඇතැයි ආරංචි රාළ විස්වාස කරයි
ස්වරූපය වෙනස් විය හැකිය. එහෙත් කුමන ස්වරූපයකින් හෝ බ්‍රිටෝ ප්‍රනාන්දුගේ අරගළය ජයගනු ඇත.
ආරංචි රාළ : 2025.08.20 134 වන දිගහැරුම
(ෂෙල්ටන් පිරිසගේ සටහනක් පදනම් කරගෙනය)


Comments
Post a Comment