නීතියේ ආධිපත්‍යය ඉල්ලා ජනතා මොර ගැසීම පල දැරීම සහ  රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ  දේශපාලනය ගැන ආරංචි රාළ බොහෝ දේ දන්නා බව කිව යුතුය. මක්නිසාදයත් 1977 ජාතික පක්ෂයේ බලයට පත්වන විට ආරංචි රාළ යමක් කමක් තේරුම් ගත හැකි වයසේ සිටි තරුණයෙකි. ජේ.ආර් ජයවර්ධන මාමාගේ හයෙන් පහක බලයක් තිබූ යූඑන්පී ආණ්ඩුවේ තරුණ කටයුතු භාර ඇමතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහය.

1971 දී  සමාජ වෙනසක් සදහා ආයුධ සන්නද්ධ කැරැල්ලක් මෙහෙයවූ තරුණ තරුණියන්ගේ දැක්ම වැරදි ලෙස කියවාගත් රනිල් වික්‍රමසිංහලා චෝකාබයිලා තරුණ පරපුරක් බිහිකිරීමට තරුණ සේවා සභාව ආරම්භ කළ අතර එය පවත්වාගෙන යනු ලැබුවේ ඔහුගේ තනි බූදලයක් ලෙසිනි.

ආරංචි රාළේ එසේ කියන්නේ ඔහු තරුණ සේවා සභාව සහ ඒ ඔස්සේ රාජ්‍යයේ රූකඩයක් ලෙස  ක්‍රියා කළ ඊනියා යෞවන සමාජ හරහා නිදහස් චින්තනයක්  හෝ  ස්වාධීනත්වයක් නොමැති වහල්  තරුණ පරපුරක් ගොඩනැගීමට දරු උත්සාහය නිසාය. ජාතික තරුණ සේවා සභාව මෙන්ම යෞවන සමාජය ද සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පෞද්ගලික ව්‍යාපෘතියක් කරගෙන තිබුණේය. (අවාසනාවකට මේ වැරදි පුර්වාදර්ශය ඉන් අනතුරුව බලයට පත්වූ සෑම දේශපාලන කණ්ඩායමක්ම පවත්වාගෙන ගියේය.)

එහෙත් අසාධාරණයට සහ අයුක්තියට එරෙහිව පවතින ක්‍රමවේදය වෙනස් කිරීමට නැගී සිටි තරුණ තරුණියන් පාලනය කර ගැනීමට ඔහුට හැකි වූයේ නැත.1983-89 කාලය පුරාවටම දකුණේ මෙන්ම උතුරේ ද ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක්  අමු අමුවේ ඝාතනය කිරීමේ නියමුවෙකු වීමට රනිල් වික්‍රමසිංහට සිදු වූයේ ඒ නිසාය.

බලයෙන් හිස උදුම්මා ගත් මේ පුද්ගලයා තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව කටයුතු කරන කණ්ඩායමක් සමඟ සිටියා මිස සමස්ත තරුණ ජනතාවගේ සැබෑ සංවර්ධනයක් ගැන සිතුවේවත් නැත. යෞවන සමාජ සහ තරුණ සේවා සභාව හරහා කොදුනාරටිය බිදදමනු ලැබූ  තරුණ පරපුරක් මේ රටේ  බිහිවූයේ ඒ නිසාය.

බටලන්ද වැනි වධකාගාර ගැන බොහෝ අය බොහෝ දේ කතා කරන නිසා ආරංචි රාළ ඒ ගැන කතා කරන්නේ නැත.

1977 ගම්පහ බියගම ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ ඉන්  අනතුරුව, මධ්‍යම පාන්තික යූඑන්පී කාරයන්ගේ බලකොටුවක් වූ බටහිර කොළඹ එක්සත් ජාතික පක්ෂයේ  අපේක්ෂකයා වූයේ සාමාන්‍ය ජනතාව තවදුරටත් ඔහු සමග නැති බව දැනගත් නිසාය.

ආණ්ඩුවේ රෙගුලාසි වන්නේ තමාගේ වචනය බව කියූ  ජනතාව විසින් පලවා හරිනු ලැබූ  ගෝඨාභය රාජපක්ෂ සේම රනිල් වික්‍රමසිංහද  අනුපාත්‍රික ජනාධිපති ලෙස තේරී පත් වූ විට සමස්ත බලය තමන් වෙතට  කේන්ද්‍ර කරගෙන  ආණ්ඩුවේ උසස් නිලධාරින්ට ප්‍රසිද්ධියේ චණ්ඩි පාර්ට් දැම්මේය.

නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බාර දෙන ලෙස නිලධාරීන්ට බල කිරීම මුළු ලෝකයම දුටුවාය.

උතුරු නැගෙනහිර ජනතාවගේ හිතවතා ලෙස සාමයේ පරවියෙකු ලෙස පෙනී සිටියත් ඔහු සැම විට කටයුතු කළේ බටහිර ජාතීන්ගේ අවශ්‍යතාවයන් සඳහාය.

සර විස්සකට අධික කාලයක් විපක්ෂයේ රැඳී සිටි ඔහු, යහපාලනය මුවාවෙන් 2015 නැවතත් අගමැතිවරයා ලෙස තේරී පත්වුවත්, ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කරනවා වෙනුවට තමන්ගේ පන්තිය ආරක්ෂා කිරීම සඳහාම පෙනී සිටියේය.  ඔහු විසින් මෙහෙයවන ලද මහා බැංකුවේ මහා බැදුම්කර වංචාව තමන්ගේ පක්ෂයට අරමුදල් රැස්කර ගැනීම සහ තම හෙන්චයියන් පෝෂණය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් විය.

පාස්කු ප්‍රහාරය සිදුවෙන අවස්ථාවේ මේ රටේ අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහය. මහා මොළකරුවෝ කවුරුන්දැයි ඉතා හොඳින් දැනගෙන සිටි ඔහු  අනුපාත්‍රික ජනාධිපතිවරයා ලෙස  දිගෙන් දිගටම පාස්කු ප්‍රහාරයේ විමර්ශන පවත්වාගෙන යාම අවුල් කරා මිස ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල  සිදු වූ වින්දිතයන්ට  යුක්තිය ඉෂ්ට කිරීමට ඉදිරිපත් වූයේ නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදිකරුවකු කරන ලද දේශබන්දු තෙන්නකෝන් වැනි පොලිස් නිලධාරියෙකුව මෙරට පොලිස්පති බවට පත් කිරීම සඳහා කිසිදු හිරිකිතයක් නැතුව කටයුතු කිරීම තුළින්ම මේ රටේ අධිකරණය තමාට පහලින් සිටිය යුතු බව කියන්නට තරම් උද්දච්ච මිනිසෙකු විය. එපමණක් නොවේ එසදහා ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට ව්‍යවස්ථාව තමාට අවශ්‍ය පරිදි නිර්වචනය කර ගත්තේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිඹුල් කඳුළු හෙලු රනිල් වික්‍රමසිංහ මෙරට වඩාත් පැරණි දේශපාලන පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දැමුවේය.අද එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි වලට කැඩී ඇත්තේ ඒ නිසාය.

තමාගේ මතයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන මිනිසුන්ව කිසි විටෙකත් නොරිස්සු රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ තමාගේ චණ්ඩිකම් පෙන්වන්නට යාමෙන්  ලෝකය  ඉදිරියේ ශ්‍රී ලංකාව බාබේරියන්ස්ලාගේ රාජ්‍යයක් බවට පත් කළේය.

ඊයේ (22) රනිල් වික්‍රමසිංහ උසාවි නියෝගයක් මගින් දින හතරක් සඳහා බන්ධනාගාර ගත කරන ලදී.ඒ රජයේ මුදල් අවභාවිතා කිරීමේ වරදකට අත්අඩංගුවට ගැනීම සහ උසාවියට ඉදිරිපත් කිරීමත් සමඟය. ඔහුව නිතිය ඉදිරියට ගෙන ආ හැකි තවත් නීතිවිරෝධී බොහෝ දේවල් ඇතත්  ජනාධිපති මුක්තිය නිසා ඔහුට විරුද්ධ පරීක්ෂණ කිරීමට නොහැකි වී ඇත. කෙසේ වෙතත් ඉදිරියේදී රාජ්‍ය  විමර්ශන අංශ ඔහුට විරුද්ධව ඇති  තව බොහෝ චෝදනා විමර්ශනය කරන බව ආරංචි රාළගේ අදහසයි.

 පුද්ගලයෙකු සිරගත කරනවාට නම් ආරංචි රාළ කැමති නැත. එහෙත් ඊට වඩා වැඩි දඩුවමක් ලබාදිය හැකි චෝදනා රනිල් වික්‍රමසිංහට විරුද්ධව ගොනු කළ හැකිය.

මේ රටේ නීතියක් ක්‍රියාත්මක  වෙන බව දැන දැනම දේශපාලන බලය නිසා  හිතාමතාම වැරදි කරන අය, අවබෝධ කරගතයුතු  සත්‍යයක් ඇත: ඒ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවය.

රනිල් වික්‍රමසිංහලාගේ පැලැන්තිය මේ රට පාලනය කරන විට මේ ඊනියා ප්‍රභූ දේශපාලකයෝ සිටියේ නීතියට ඉහළිනි. රනිල් වික්‍රමසිංහට පමණක් නොව, මවා ගනු ලැබූ ඊනියා ප්‍රභූ තත්ත්වයක ජීවත් වන සැමට නීතියේ ආධිපත්‍යය කියන්නේ කුමක්දැයි දැන් වටහා ගත හැකිවනු ඇත.

මේ රටේ ජනතාව මොරගැසුවේද,අරගල කෙරුවේද ඒ වෙනස මේ රට තුළ ස්ථාපිත කිරීමටය.

 

ආරංචි රාළ; 2025.08.23 136 වන දිගහැරුම

 

  

Comments

Popular posts from this blog