නව දේශපාලන සංස්කෘතියට අවුරුද්දයි!

2024 සැප්තැම්බර් 21 දින මේ රටේ  42.31% ක් වූ  ඡන්ද දායකයෝ පිරිසක්  ජනාධිපතිවරණදී ජාතික ජන බලවේගයේ මාලිමාවෙන් ඉදිරිපත්වූ අනුර කුමාර දිසානායකට තමන්ගේ  ඡන්දය ප්‍රකාශ කිරීමට  ඡන්ද මධ්‍යස්ථානයට ගියේ මේ රටේ අනාගතය වෙනුවෙන් තමන් ගෙන තිබු  අතිශයින්ම වැදගත් තීරණයත් සමඟය.

මේ තීරණය ගැනීම සඳහා ඔවුන් පෙළඹවීමේ සුවිශේෂ කාර්යභාරයක් 2017/18 වන විට ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ  නායකත්වයෙන් ගොඩනඟන ලද ජාතික ජන බලවේගය විසින් කර තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයේ  මධ්‍යයම කාරක සභාව විසින් ගනු ලබන තීරණ බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය වෙනුවට ගම් මට්ටමින් ජනතාව සමග සංවාද කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් වඩා හොඳින් හඳුනාගනිමින් ස්ථාපිත කරන ලද ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා මෙහිදී අතිශයින්ම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ දේශපාලනය ඉතා ක්‍රමානුකුලව ක්‍රියාත්මකවූ අතර ජාතික ජන බලවේගය වටා එකතුවී සිටි අනිත් කණ්ඩායම් ජනතාවට සැබෑ වෙනසක් පිලිබදව නැවුම් බලාපොරෝත්තුවක් ජනිත කර තිබුණි.

ජාතික ජන බලවේගයට පොරොන්දු දේශපාලනය පිළිබඳව විශ්වාසයක් තිබුණේ නැත. එබැවින් මේ රටේ පවතින, දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික මෙන්ම පාරිසරික යථාර්ථය පිළිබඳව ජනතාවගේ සාක්ෂරතාවය වැඩි කිරීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් මෙරටේ ක්‍රමවේදයේ සැබෑ වෙනසක් කලයුතු බවටවූ ස්වාධින සිතුවිල්ල ජනතාව තුළ මාංශගත ගත කිරීමට ජාතික ජන බලවේගයේ සමස්ථ ක්‍රියාවලිය මෙහෙයවූ කණ්ඩායම් වලට හැකිවිය.

අවාසනාවකට, අධිපතිවාදී පාරම්පරික දෙමළ සහ මුස්ලිම් දේශපාලන නායකත්වය පසුපස හඹා ගිය උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ජනතාව තුළ මේ සාක්ෂරතාවය වැඩ කිරීමේ වැඩපිළිවෙල අපේක්ෂා කළ මට්ටමින් සිදු වූයේ නැත. සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනා  ජනාධිපතිවරණයේදී පිලිවෙලින් 32.76% සහ 17.27% කට ආසන්න ප්‍රමාණයක චන්ද ලබාගෙන යාන්තම් තමන්ගේ ජාමය බේරා ගත්හ.  පොහොට්ටුවේ අපේක්ෂකයාට  අවම වශයෙන් 3% ක  ඡන්දප්‍රමාණයක්වත්   ලබා ගැනීමට නොහැකිව නන්නත්තාර වී ගියේය.

ඉන් අනතුරුව පැවති මහ මැතිවරණයේදී ජනතාව ජාතික ජන බලවේගයට පැහැදිලි ජනවරමක් ලබා දුන්නේ, මේ රට තුළ සැබෑ දේශපාලන සංස්කෘතියේ වෙනසක් සිදුවිය යුතු නිසාය.

මේ වසරක කාලය පුරාවට සිදුවූ බොහෝ දේවල් පිළිබඳව ආරංචි රාළට කියන්නට සහ ලියන්නට බොහෝ ඇත. ඒ බොහෝ දේවල් මේවනවිටත් තවත් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් ලියනු ඇත, එසේම කියනු ඇත. එබැවින් ආරංචි රාළ මේ සටහන ඒ වෙනුවෙන් යොදා ගන්නේ නැත.

එහෙත් ආරංචි රාළට කියන්නට දෙයක් ඇත.

එසේ කිවයුතුව ඇතිදේ සටහන් කරමින් මේ සටහන අවසන් කරන්නට ආරංචිරාළ අදහස් කරයි.

ආරංචි රාළගෙන් අනුර කුමාර දිසානායක ජනපති සහෝදරයාට වචනයක්!

ජනාධිපතිවරණයේදී සියයට හතළිස් දෙකකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් අනුර කුමාර දිසානායක සහෝදරයාට ලබා දුන්නේද, මහා මැතිවරණයේදී අති බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවත් ජාතික ජන බලවේගයෙන් තෝරාපත් කරනු ලැබුවේද, ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නව දේශපාලන සංස්කෘතිය මේ රට බහුතර ජනතාවක් වැළඳගත් නිසාය.

ජාතික ජන බලවේගයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙසද කටයුතු කරන ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා මතක තබා ගත යුතු කරුණක් ඇත. මේ ජනතාව අපේක්ෂා කළ සංස්කෘතිය වසර ගනනාවක් තිස්සේ බහුතර ජනතාව තේරුම් ගෙන තිබු  ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සංස්කෘතිය නොවේ.

මේ වනවිට ලෝකයේ කිසිම රටක් ධනවාදයේ  හෝ සමාජවාදයේ අන්තවාදී දේශපාලන මතවාදවල සිරවී නැත.

ලෝකයේ බොහෝ සංවර්ධිත යැයි සැලකෙන රටවල් වල ක්‍රියාත්මක වන්නේ මේ දෙක අතර මැද දිවෙන මතවාදමය දේශපාලන ක්‍රියාවලියක්ය.

රටක් සැබෑ ලෙස සංවර්ධනය කිරීමට නම් තනි පුද්ගලයන්ගේ කැපවීම සහ නායකත්වය වැදගත් වෙනවා සේම පොදු ජනතාවගේ සහභාගිත්වය තිබිය යුතුමය. එය සමස්ථ ක්‍රියාවලිය තුලම තිබිය යුතුය. සහභාගිත්වයේ සංකල්පය යනු සැමදෙනාම කිසියම් ක්‍රියාවලියකට සම්බන්ධ කර ගැනීම නොවේ. එසේම   පක්ෂයක හෝ පුද්ගලයකුගේ අරමුණු සහ තීරණ  මත දිවෙන ක්‍රියාවලියක් අනිවාර්යයෙන්ම අසාර්ථකත්වයෙන් අවසන් වනු ඇත.

එබැවින් සමස්ථ  සමාජයම පොදු අරමුණක් කරා මෙහෙයවීම අතිශයින්ම වැදගත් වන්නේය.

එම පොදු අරමුණ ජාතික ජන බලවේගය තුළ ඇත. සමාජය සහ මහජන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය හඳුන්වන්නේ ඒ නිසාය.

එම අනන්‍යතාවය පවත්වාගැනීම  තුළින් මේ රටේ සංවර්ධනයේ සැබෑ අරුණළු දැකීමට සහ අත්දැකීමට මෙරට ජනතාව වාසනාවන්තයෝ වනු ඇත.

 

ආරංචි රාළ 2025.09.21. 140 වන දිගහැරුම

 

 

 


Comments

Post a Comment

Popular posts from this blog