විදුලි සේවකයන්ට කරන්ට් වදීවිද ?

තමන් සේවය කරන ආයතනය මේ රටේ ජනතාව සහ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර දීමට හෝ තමන්ට අහිමිවන අයිතිවාසිකම් රැක ගැනීමට නිශ්චිත වෘත්තීය සමිති  ක්‍රියාමාර්ගයක නියැළීමට සේවකයින්ට ඇති අයිතිය ආරංචි රාළ ඉතා ඉහළින් පිළිගනියි. එහෙත් ආරංචි රාළ  මේ දෙයද කිව යුතුමය. බල ශක්තිය ආශ්‍රිත ආයතනවල සේවක සේවිකාවන් වෙනත් ආයතන වල  සේවික සේවිකාවන් හා  සසදනා බලන විට ඉතා ඉහල වැටුප් සහ වරප්‍රසාද ලබන කණ්ඩායමකි. එසේම මෙම ආයතන භාරව සිටි රජයේ දේශපාලකයින් සහ ඉහළ පෙළේ නිලධාරීන් පිළිබඳව ජනතාව තුළ පැවතියේ විශාල කලකිරීමකි. මක්නිසාදයත්, දූෂණය,වංචාව සහ ගසා කෑම ඉතා ඉහළ මට්ටමෙන් මේවායේ සිටි පුද්ගලයෝ පවත්වාගෙන ගිය හ. විදුලි බල මණ්ඩලය වැනි ආයතනයකට  පූර්ණ ප්‍රතිව්‍යුහකරණයක්  අවශ්‍ය වන්නේ ඒ නිසා පමණක් නොවේ. එය මෙරට පවත්වාගෙන යාමේදී අතිශයින්ම වැදගත් ආයතනයකි.

ආරංචි රාලගේ අවබෝධයට අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති විදුලිබල මණ්ඩල පනත තුළින් ඉදිරිපත් කරන යෝජනා කලින් ආණ්ඩු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට සාපේක්ෂකව ඉතා හොඳ මට්ටමේ පවතී. එවන් සන්දර්භයක් තුළ විදුලිබල මණ්ඩලයේ සේවකයෝ දැන් ආරම්භ කර ඇති වෘත්තී සමිති ක්‍රියාමාර්ග සමග ආරංචි රාළ එකගවන්නේ නැත.

එච් ෂෙල්ටන් පීරිස්, මේ වන විට කැනඩාවේ ජීවත්වෙන වසර ගණනාවක් පුරාවට බැංකු සේවක සංගමයේ අත්දැකීම් බහුල සාමාජිකයෙකි. ඔහු විසින් මුහුණු  පොතට  ලියා ඇති මෙම සටහන ආරංචි රාළ ඔබ සමග බෙදා ගන්නේ ඔබ දැන ගත යුතු බොහෝ දේ මෙම සටහනේ ඇති නිසාය.

මේ දිනවල විදුලි බල මණ්ඩල සේවකයන් සිටින්නේ පාරට බැස  උද්ඝෝෂණ  කරමිනි. ඔවුන් මහ මගද අවහිර කරමින් කෑ කෝ ගැසීම නිසා ගමන් බිමන් යන්නෝද කර කියා ගත හැකි දෙයක් නැතිව කෝපයට පත්ව සිටිති.
ඒ අතර පාසල් දරුවන් රැගෙන යන වෑන් රථද, ගිලන් රථද, ත්‍රී රෝද රථ වලින් ගමන් කරන්නෝද සිටිති.
මේ බඩගිනි වේලාව නිසා මිනිසුන්ගේ කෝපය තාර පාරේ බුබුළු දමයි.
 
විදුලි සේවකයන්ගේ ප්‍රධාන ඉල්ලීම නම් මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බවය.
ආණ්ඩුව කියන්නේ සේවකයන්ගේ කිසිම අයිතිවාසිකමක් අහිමි නොවන බවය.
පාරිභෝගිකයා උඩ බිම බලන්නේ එසේ නම් මේ උද්ඝෝෂණ කුමටද කියාය.
රහස එළිවූයේ එවිටය.
 
උද්ඝෝෂණ සිදුවන අතරේ මාධ්‍යයට අදහස් දැක්වූයේ ආණ්ඩුවට අකමැති දේශපාලන පක්ෂ හා බැඳුණු වෘත්තිය සමිති නායකයන්ය.
2024 දී විදුලි බල මණ්ඩලය කෑළි දොළහකට කඩා විකුණා දැමීමට පනතක් සම්මත කරගත්තේ මේ පක්ෂ එක්ව සිටි ආණ්ඩුව විසිනි.
එම පනත ක්‍රියාත්මක වූවානම් සේවකයන්ට සිදුවන දේ සිතාගත නොහැකිය.
 
එපමණක් නොව විදුලි ප්‍රභවයන් හා බෙදා හැරීම පුද්ගලික අංශයට විකුණා දැම්මා නම් රටේ ආරක්ෂාවටද එය තර්ජනයක් වනු ඇත.
තමන්ට රිසිලෙස විදුලිය සැපයීම පාලනය කරමින් රජය පවා  අපහසුතාවයන්ට පත් කිරීමට ඔවුන්ට ඉඩ ලැබෙන්නේය.
මේ වෘත්තීය සමිතිවල තවත් ඉල්ලීමක් නම් දීමනාවක් ලෙස ලබාදෙන රුපියල් 10,000. මූලික වැටුපට එකතු කිරීමය.
එසේ කළ විට වැටුප පමණක් නොව අර්ථ සාධක අරමුදල ද, සේවක භාරකාර අරමුදලද, අතීකාල දීමනාද, ප්‍රසාද දීමනා ද, පාරිතෝෂික දීමනා ද, ඉන්ධන - ගමන් වියදම් - වෛද්‍යාධාර වැනි දීමනාද විශාල ලෙස වැඩි වෙයි.
ඊටම ඔවුන් ඉල්ලා සිටින 25 % වැටුප් වැඩිවීමද එකතු වූ විට මුළු වැටුප 50% න් පමණ ඉහළ යයි.
 
මේ වැඩිවීම අවසානයේදී එකතු වන්නේ පාරිභෝගිකයාගේ මාසික විදුලි බිලටය.
 
තාපබල විදුලියට යොමුවීම නිසාත් (ගල් අඟුරු, ඩීසල්), ඒ තුළ විශාල ලෙස වංචා සිදුවීම නිසාත් (විශේෂයෙන් ගල් අඟුරු වංචා), පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලට ගැනීම නිසාත්, සමස්ථ විදුලිය නිෂ්පාදන වියදම ඉහළ ගොස් මණ්ඩලය කඩා වැටීමට ආසන්නව තිබිණි.
පාරිභෝගිකයාට දැන් ගෙවීමට සිදුව ඇති දරාගත නොහැකි අධික විදුලි බිලට හේතුව, මෙම පාඩුව පියවා ගැනීම පිළිබඳ වගකීම ඔවුන් පිට පටවා තිබීමය.
ඊට වගකිවයුත්තේ දේශපාලකයන් මෙන්ම මණ්ඩලයේ ඉංජිනේරුවන් හා පරිපාලකයන්ය.
 
බංකොළොත් වූ රටක මෙසේ පාරිභෝගිකයෙන් තලා පෙළා දැමීම කොතරම් අමානුෂික දැයි විදුලිබල මණ්ඩල සේවකයන්ට තේරුම් යා යුතුය.
ඒ සමගම දේශපාලන උවමනාවන් ඉටු කර ගැනීමට තමන්ව දඩමීමා කර ගැනීම ගැනද සේවකයින් සිතා බැලිය යුතුය.
 
වරක් වැඩ වර්ජනය කිරීමේ හේතුවෙන් පවුල් 40,000 ක් පමණ අනාථ කරමින් සේවකයන්ගේ රැකියා අහිමි කළ දේශපාලන පක්ෂ දැන් තමන්ගේ ගැළවුම්කරුවන් ලෙස පෙනී සිටීමේ අරමුණද කවුරුත් තේරුම් ගත යුතුය.
 
ඒ බව තේරුම් ගත නොහැකිනම්, දේශපාලන වෘත්තීය සමිති කිහිපයක තර්ජනයට බිය නොවී පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක එඩිතර තීරණවලට අභියෝග කිරීමේ විපාකය විදුලි බල සේවකයන්ට විඳින්නට සිදු වේවි.
 
මෙම උද්ඝෝෂණ හා ඈඳුනු හාස්‍ය ජනක ඉල්ලීමක්ද ඇත.
මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඉවත්වීමට කැමති සේවකයන්ට ගෙවීමට අදහස් කරන වන්දිය රුපියල් ලක්ෂ පනහ ඉක්මවිය යුතු බවය ඒ.
 
එවිට සේවයෙන් ඉවත්වීමේදී ලැබෙන වන්දියට අර්ථසාධකය, සේවක භාරකාර අරමුදල, පාරිතෝෂිකය ආදිය එකතු වූ විට සේවකයෙකුට ලැබෙන මුළු මුදල රුපියල් කෝටියක් පමණ වේ.
 
දැන් සේවකයන් දුවමින් සිටින්නේ විරුද්ධවාදී දේශපාලකයන් පෙන්වන මේ කැරට් අලය පසුපසය.
 
ෂෙල්ටන් පිරිස්

ආරංචි රාළ  2025.09.19 : 139  දිගහැරුම

 


 

 

Comments

Popular posts from this blog