පොලිස් පහරදීම හෙළා දකින "ජනෝදානය " සම්මුතියකට පැමිණීමට රජය ගන්නා උත්සාහයට  සහය වන්නැයි මන්නාරමේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මන්නාරමේදී විරෝධතාවක නිරත වූ නිරායුධ  ජන කණ්ඩායමට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් ජනොදානය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක් ආරංචි රාළ  වෙත ලැබී ඇත.එහි මෙසේ දැක්වේ;

රජයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මන්නාරමේ ඉදිකරන්නට යන සුළං ආශ්‍රිත විදුලි ජනක පද්ධතියට සිය විරෝධය දැක්වීමේ අරමුණින් මන්නාරමේ ජන පිරිසක් ඉකුත් දා  විරෝධතාවක් පැවැත්වූහ.  ඒ අවස්ථාවේ දී විරෝධතාවට සහභාගී වූ ජනතාව පලවා හැරීම සඳහා  පොලිසිය අමානුෂික ප්‍රහාරයක් එල්ල කෙළේය. එය ඉතා කුරිරු, ම්ලේච්ඡ, අමානුෂික  පහර දීමකි.  නීතියට ගරු කරන කිසිදු පුරවැසියකුට එය  පිළිගත නොහැකිය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. භාෂනයේ නිදහසත්  රජයේ කිසියම් ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ මෙන්ම ඊට සාමකාමීව විරෝධය දැක්වීමේ නිදහසත් අපේ  ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් ම තහවුරු කර තිබේ. මේ නිසා කිසියම් ජනනතාවක් උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් පවත්වන විට පහර දී ඔවුන් පලවා හැරීම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අපි තරයේ අවධාරණය කරමු.

කෙසේ වෙතත්, පොලිසියේ මේ කුරිරු හැසිරීම ජාතික ජන බලවේග ආණ්ඩුව ආරම්භ කර ඇති නව ගමනට බාධාවක් මෙන්ම එය කඩාකප්පල් කිරීමට පොලිසියේ ම ඇතැම් නිලධාරීන් සිදුකරන කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ද යන්න ගැන ජනෝදානය තම නිවේදනයේ සැක පළ කරයි. 

2024 සැප්තැම්බර මාසයට පෙර තිබුණු ආණ්ඩු පොලිසිය පුහුණු කර තිබුණේ  සහ එයින් අපේක්ෂා කලේ තම මතයට විරුද්ධ වන ඕනෑම පුද්ගලයකු සාහසික සහ අමානුෂික ලෙස  මර්දනය කිරීමටය. 2024 සැප්තැම්බර 21 වැනිදායින් ඒ ජනතා විරෝධී ක්‍රමය අවසන් කල බව පොලිසිය තවමත් අවබෝධ කරගෙන නොමැති බව පෙනෙන්නට තිබේ. අනෙක් අතින්, මන්නාරමේ ජනතාව යුද්ධ කාලය තුළ ආරක්ෂක අංශවල දැඩි පීඩනයට ලක්ව සිටි ජනතාවකි. ඔවුන් ආරක්ෂක හමුදා සහ  පොලිසිය දුටුවේ සිය සතුරන් ලෙස ය. එහෙත් 2024 දී ඒ තත්ත්වය වෙනස් කරන්නට මන්නාරමේ ජනතාව ද දැඩි තීරණයක් ගත්හ. මේ අනුව ඔවුන්  සිය දැවෙන ප්‍රශ්න විසඳා  ගැනීම සඳහා  ජාතික ජන බලවේග ආණ්ඩුව කෙරෙහි විශ්වාසය සහ බලාපොරොත්තුව තබා තිබේ. ඒ තත්ත්වය තුළ එම ජනතාවට මෙවැනි අමානුෂික ප්‍රහාර එල්ල කරන්නේ මේ ආණ්ඩුව කෙරෙහි පිළිකුලක් ඇති කිරීම පොලිසිය තුළ තවමත් සිටින කුමන්ත්‍රණකාරී පිරිස් විසින් ද යන්න ගැන  ජනෝ දානය ප්‍රශ්න කරන බව එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ..

මේ නිසා උතුරේ ජනතාව ගේ සාමකාමී විරෝධතා වලදී හැසිරිය යුතු අන්දම ගැන පොලිසියට නිසි උපදෙස් ලබා දෙන ලෙස පොලිස්පති වරයාගෙන් ජනෝදානය  දැඩි ලෙස ඉල්ලා සිටිමු. අවසානයේ  ජනෝ දානය මන්නාරමේ ජනතාව ගෙන් ද ඉල්ලීමක් කර සිටියි.

මන්නාරමේ ඉදිකෙරෙන සුළං විදුලි බල පද්ධතිය සම්බන්ධයෙන් මන්නාරමේ පුරවැසි කමිටුව සහ මන්නාරමේ කතෝලික රදගුරු පදවි නියෝජිතයන් ඇතුළු පාර්ශව කිහිපයක් සමග ජනාධිපතිවරයා තවමත් අඛන්ඩ සාකච්ඡාවක  යෙදී සිටින බව ඉතා විශ්වාස කටයුතු ලෙස අපට දැනගන්නට ලැබී තිබේ. මෙවැනි විරෝධතා පැවැත්වෙන්නේ සම්මුතියකට  ඒමට ගන්නා එවැනි ප්‍රයත්නයන් අතරතුරය. උතුරට සාමය සහ සංවර්ධනය උදාවීමට බාධා කොට තම පටු අපේක්ෂා ඉටු කරගැනීමට උත්සාහ  කරන ආත්මාර්ථකාමී බලලෝභී බලවේග ද උතුරේ ක්‍රියාත්මක වේ.

එම බලවේග පිළිබඳව අවදියෙන් සිටින ලෙස මන්නාරමේ ජනතාවගෙන් ජනෝදානය  ඉතා සහෝදරත්වයෙන් ඉල්ලා සිටියි.

මේ අතර මෙම සිදුවීම දිනට පසු දින "කිතුසර" ලෙස හදුනා ගන්නා කණ්ඩායමක්,  සමාජ මාධ්‍ය තුළ පළකර  තිබු " දෙමල ජනතාවට එරෙහිව වෙනත් වටයකින් ආරම්භ කර ඇති ජනසංහාරය වහා නවතනු ! යන පොස්ට්ටුව තුලින් ජාතික ජන බලවේගය ආණ්ඩුවට ජාතිවාදී මර්ධනකාරී ලේබලයක් ගැසීමට "කිතුසර" නම්වූ කණ්ඩායම ගන්නා නින්දිත උත්සාහයද ආරංචි රාළ දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකියි.

සංවර්ධන ක්‍රියාවලියේදී ජනතාවට බොහෝ දේවල් පරිත්‍යාග කරන්න සිද්ධ වෙන බව අප අමතක කළ නොකළ යුතුය.මහවැලි ව්‍යාපෘතියේදී කදුකර ප්‍රදේශයේ බොහෝ ජනතාව තම තමන්ගේ උපන් බිම් අතහැර වෙනත් ප්‍රදේශවල පදිංචිට ගියා. ඔවුන් එසේ නොකලේනම් විදුලිය පිලිබදව අප සිටින්නේ මීට  වඩා අර්බුදයකය. ජාතික සංවර්ධනයට ප්‍රාදේශීය වශයෙන් දායකත්වය ලබා දීම සෑම රටවසියකුගේම වගකීමක් සේම යුතුකමකි.

ජනතාවට  වෙනුවෙන් සැබෑ වන්දි ලබාදීමට කටයුතු කිරීමට ආණ්ඩුව ඉදිරිපත් විය යුතුයි. පසුගිය ආණ්ඩු සමයේදී ඒවායේ නායකයෝ සිතුවේ මෙම ව්‍යාපෘතීන් වලින් ඔවුන්ට ලැබෙන කොමිස් කුට්ටිය ගැන පමණි. මෙම ව්‍යාපෘතිය නිසා ඇතිවිය හැකි ඇති අහිතකර තත්ත්වයන්  අවම කර ගැනීමට (mitigation ) රජය ඉතා සාධනීය යෝජනා ගනාවක්ම ඉදිරිපත් කර ඇත. විදුලිය සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයකි.මේක අපට හැරෙන්න පුළුවන් අවස්ථාවක් නොවන බව ආරංචි රාළ තරයේ ප්‍රකාශ කර සිටියි.

ආරංචි රාළ 2025.09.30 - 144 වන දිගහැරුම.

 


 

 

Comments

Popular posts from this blog