සංඥා භාෂාව නැතිව මානව අයිතිවාසිකම් නැත.
ජාත්‍යන්තර සංඥා භාෂා දිනයෙදී රජය දැඩිව අවධාරණය කරයි.
ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සැමරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (සැප්: 23) අගමැති ආචාර්ය හරිණි අමරසුරිය, ප්‍රජා සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීමේ ඇමති ආචාර්ය උපාලි පන්නිලගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සහ අබාධ සහිත ප්‍රජාව බලගැන්වීමේ සංවිධාන නියෝජිතයින් සහ ශ්‍රව්‍ය අබාධ සහිත පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වුනි.
මේ ඒ ගැන ආරංචි රාළගේ අදහසයි.
අපි රටේ ජීවත් වෙන බිහිරි නැතිනම් ශ්‍රව්‍ය ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ එකිනෙකා අතර සංනිවේදනය කර ගත නොහැකි වීමයි. ඔවුන්ට ලෝකයේ ශබ්දය ඇහෙන්නේ නැත. එසේම තමන්ගේ අදහස් ශබ්දයක් ලෙස මුදා හැරීමට ඔහුට හැකියාවක් නැත.
මේ අපහසුතාව ඇති ලක්ෂ හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. ලෝක ජනගහනය දෙස බැලූ විටදීත්, විශාල පංගුවක් මේ බිහිරි ප්‍රජාව නියෝජනය කරනවා.
බිහිරි හෝ ශ්‍රව්‍ය ආබාධිත ජනතාවට තමන්ගේ අදහස් සන්නිවේදනය කිරීමට කුමක් හෝ ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. එම අවශ්‍යතාවයට පිළියමක් ලෙස තමයි සංඥා භාෂාව නිර්මාණය වන්නේ. ඉතිහාසයේදී හෝ වර්තමානයේ මානවයාට කිසියම් දෙයක් අහිමි වන විට එම අහිමි වන දෙය පිරි මසා ගැනීමට ඔවුන් විසින්ම විකල්ප ක්‍රියාමාර්ග සකස් කර ගන්නවා.
ශබ්දය නොඇසෙන විට සහ වචනවලින් අදහස් ප්‍රකාශ කර ගැනීමට නොහැකි වන විට, සංඥා මඟින් තමන්ගේ අදහස් හුවමාරු කරගැනීමට ඔවුන් විසින්ම නිර්මාණය කරගත් දෙයක් තමයි සංඥා භාෂාව.
කෙසේ වෙතත් ලෝක ඉතිහාසය සහ මානව පරිණාමය දෙස බලන විට මිනිසුන් තමන්ගේ අදහස් ප්‍රකාශ කර ගැනීමට සංඥා භාෂාව උපයෝගී කරගෙන තියෙනවා. වාග් සන්නිවේදනයට පෙර මානවයා සංඥා මගින් සන්නිවේදනය කරගෙන ඇති බවට සාක්ෂි තියෙනවා.
අපි අද භාවිතා කරන වචන ශබ්ද පිළිබඳව අවබෝධයක් නැති ඈත අතීතයේ පවා සංඥා භාෂාවෙන් පුද්ගලයින් අදහස් හුවමාරු කරගෙන තියෙනවා.
කොහොම නමුත් , හොඳින් කතා කරන්නට හැකියාව තියෙන දෙදෙනෙකුට පවා සංඥා මගින් සන්නිවේදනය කරගන්න පුළුවන්.
ඒ සඳහා ඔවුන් තමන්ගේ හස්ත නැත්නම් මුහුණේ ඉරියව් භාවිතා කරනවා. මෙය, ඉතාමත් උසස් තත්වයකට සංවර්ධනය වූ අවස්ථාවක් තමයි සංඥා භාෂාව බිහිවීම.
මෙම සංඥා භාෂාව විධිමත් කිරීමටත්, ප්‍රචලිත කිරීම සහ එයට නිසි වටිනාකමක් ලබාදී ගෞරවාන්විත පිළිගැනීමක් ලබාදීම සඳහා තමයි දැන් අපගේ ආණ්ඩුව සංඥා භාෂා පනතක් ගෙන එන්නේ. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා, එසේම පනත කෙටුම්පත් කර නීති දෙපාර්තමේන්තුවට යවා තියෙනවා. ඉදිරියේදී එය පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සම්මත කරගෙන සංඥා භාෂාව මේ රටේ පිළිගත් භාෂාවක් බවට පරිවර්තනය කරනවා.
මෙය ජාතික ජන බලවේගය ආණ්ඩුවේ. "එක්ව අත්නොහැර " ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ඉතා වැදගත් යෝජනාවක්! මේ තුළින් බිහිරි ප්‍රජාවට ඇති සන්නිවේදන බාධා ඉවත් කිරීමේ අරමුණ අපට සාක්ෂාත් කර ගත හැකි වෙනවා.
ඇත්තටම මේ වාග් සන්නිවේදනය අහිමිවීම නිසා බිහිරි ප්‍රජාවට බොහෝ දේවල් ලබාගැනීමට සහ අත්පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය අධ්‍යාපනය අවස්ථාවන් සහ උසස් අධ්‍යාපන අවස්ථාවන් මෙන්ම වෘත්තීය පුහුණු අවස්ථාවන් මෙන්ම රැකියා ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා.
මේ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී අන්තර්කරණ අධ්‍යාපනය සහ සැමට අධ්‍යාපනය ලබාදීම තුළ බිහිරි සිසුදරු දැරියන්ගේ අවශ්‍යතාවයන් පිරිමසාලීමට අප විශේෂ අවධානයක් සහ සැලකිල්ලක් දක්වනවා. මීට අමතරව අධ්‍යාපන සහතික නැතත් හැකියාවන් සහ කුසලතා තාවයන් ප්‍රගුණ කර ගත් අයට NVQ සහ වෘත්තීය පුහුණු සහතික ලබාදීම හරහා නිෂ්චිත වෘත්තීය ක්ෂේත්‍රයේ ගමනක් යාමට අවශ්‍ය අවස්ථාවක් සැලසීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ තුළින් නිපුණතා පූර්ණ බිහිරි ප්‍රජාවක් ඇතිකර ගැනීමෙන් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොලේ ඔවුන්ට රැකියා අවස්ථා ලැබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.
සංඥා භාෂාව සැබැවින්ම විශ්ව භාෂාවක් ලෙස භාවිතා කිරීමේ තත්ත්වයකට අප දියුණු කරගත යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ දෙමළ සහ සිංහල භාෂාවන් සංඥාව භාෂාවට පරිවර්තනය කිරීමේදී අපගේ ප්‍රාදේශීය භාවිතයන් සහ විවිධ සංස්කෘතික තත්වයන් මත වචන තේරුම් ගැනීම හේතුව නිසා අපිට කිසියම් අභියෝගයක් තියෙනවා.
දෙමළ සහ සිංහල අය සඳහා එක සංඥා භාෂාවක් භාවිතා කිරීම කෙසේ වෙතත් විශ්වීය භාෂාවක් ලෙස අපිට පොදුවේ අපි පාවිච්චි කරන වචන සඳහා මෙය උපයෝගී කර ගැනීමට හැකිවෙන අතර ඒ පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරමින් සිටිනවා.
සංඥා භාෂාව බිහිරි ප්‍රජාව තුළ පමණක් නොව සාමාන්‍ය ජනතාව අතරත් ප්‍රචලිත කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. මේ වන විට ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාතික ලේකම් කාර්යාලය සහ ජාතික සභාවේ පූර්ණ මැදිහත් වීමෙන් සංඥා භාෂාව ප්‍රවර්ධනය කිරීමේ මූලික පියවරක් ලෙස සංඥා භාෂා පුහුණු කිරීමේ වැඩසටහන් අපි ආරම්භ කරලා තියෙනවා.
මෙහිදී විශේෂයෙන් රාජ්‍ය ආයතනවල මහජනතාව සමග සෘජුව ගනුදෙනු කරන නිලධාරීන්ට සංඥා භාෂා පුහුණු කිරීමේ වැඩමුළු දැන් පවත්වනවා. මේ තුළින් එදිනෙදා ජීවිතයේදී බිහිරි ප්‍රජාව මුහුණ දෙන සන්නිවේදන ගැටලු අවම කර ගැනීමට හැකි වනු ඇත.
සංඥා භාෂා පරිවර්තකයන් පිළිබඳව ද අපගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන අතර ඔවුන්ට අවශ්‍ය නිසි පුහුණුව සහ දැනුම මෙන්ම අවශ්‍ය වරප්‍රසාද ලබාදීමටත් කටයුතු කර සංඥා භාෂා පරිවර්තනය වෘත්තිමය තත්ත්වයකට පත් කිරීමට අපි කටයුතු කරනවා.
මේ තුළින් වාචිකව සන්නිවේදනය කිරීම නිසා කිසියම් ලෙසින් සමාජය තුළ ආන්තික ප්‍රජාවක් බවට පත්වී සිටින බිහිරි නැතහොත් ශ්‍රව්‍ය ආබාධිත අපගේ මේ සහෝදර ප්‍රජාව අන්තර්කරණය කිරීමට අපට හැකි වනු ඇත.
https://www.facebook.com/share/v/1A1QQW28Ba/
ආරංචි රාළ 2025.09.24 - 141 වන දිගහැරුම






Comments
Post a Comment