සංක්‍රමණිකයන්ට එරෙහි ව සංක්‍රමණිකයන්ගේ නැගිටීම.

කෙසේ වෙතත් වෙනත් රටකට සංක්‍රමණයට වීමට තමන්ට ලද අවස්ථාව සහ වරප්‍රසාදය තවත් කෙනෙකුට අහිමි කරන්නට කෙනෙකු පෙළ ගැසෙන්නේනම් ආරංචි රාළට ඔහු හෝ ඇය සමග බේරා ගන්නට ලොකු ගනුදෙනුවක් ඇත.

තමන් ඕස්ට්‍රේලියානුවන් යයි කියා ගන්නා, දැනට වසර දෙකතුනකට හෝ වසර ගණනාවකට කලින් එරටට සංක්‍රමණිකයන් ලෙස පැමිණ වර්තමානයේ තමුන් එරට භුමිපුත්‍රයන් යයි  සිතන  ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඊනියා ඕස්ට්‍රේලියානුවන් අවබෝධ කර ගත යුතු සත්‍ය  වන්නේ ඔවුන් කිසිවෙකු ඕස්ට්‍රේලියාවේ සැබෑ අයිතිකාරයො නොවන බවය. ඕස්ට්‍රේලියාවේ සැබෑ අයිතිකරුවන් කවුදැයි දිගෙන් දිගටම කිව යුතු නැතත්, ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ගැන කියවන කෙනෙකුට එය වඩා හොඳින් වටහා ගත හැකිවනු ඇත.

ඕස්ට්‍රේලියාව සැබවින්ම සංක්‍රමණිකයන්ගේ රටකි. ප්‍රධාන වශයෙන් ‍ බ්‍රිතාන්‍යයෙන්  සහ යුරෝපීය රටවලින් එම භූමියට පැමිණි අය එහි පදිංචි වූ අතර එය සැබවින්ම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතිණි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ පවතින රාජ්‍ය පිළිබඳව ආරංචි රාළට  එතරම් දැනුමක්  නොතිබුණද ඕස්ට්‍රේලියානු කොඩිය දෙස බලන විට බ්‍රිතාන්‍යයට එහි ඇති සබඳතාවය සහ පාලනයට බ්‍රිතාන්‍යයේ මැදිහත්වීම ඕනෑම කෙනෙකුට වටහා ගත හැක.

භූමියක් ලෙස ගත් කල එය අති විශාල රටකි. සමස්ථ  ඕස්ට්‍රේලියානු භූමියේ  ඇති සම්පත් වලින් සියයට දශමයක ප්‍රමාණයක් වත් මේ වනතෙක් ප්‍රයෝජනයට ගෙන නැත.  එබැවින් තවත් කෝටි ගණනක් ජනතාවකට ඕස්ට්‍රේලියානු භූමියේ ජීවත් වීමට අවස්ථාව ඇත. මෙතෙක් පැවති  සෑම ඕස්ට්‍රේලියානු රජයක්ම මේ යථාර්ථය ඉතා හොඳින් වටහාගෙන තිබුණු අතර දිගින් දිගටම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ගෙන ඒමට කටයුතු කළේ ඒ නිසාය.

විවිධ රටවල් වලින් පැමිණි ජනතාව නිසාම අති සුවිශේෂී සංස්කෘතික විවිධත්වයක් ඕස්ට්‍රේලියාවේ නිර්මාණය වී ඇති අතර ඕනෑම කෙනෙකුට ජීවත් විය හැකි රටක් බවට පත්ව ඇත. එහෙත් එරටට මුලින් පැමිණි බ්‍රිතාන්‍යයන්ගේ  අනන්‍යතාවයන් වැඩියෙන් මතුවී තිබීම කිසිවෙකුට ගැටළුවක් විය යුතු නැත.

එහෙත් සංක්‍රමණිකයන් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින්ගෙන් පැවත එන සමහරක් හිතන්නේ ඕස්ට්‍රේලියාව තමන්ගේ බූදලයක්  පමණක්  බවය. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ගෙන ඒමට ඔවුන් විරුද්ධව කෑ ගසන්නේ ඒ නිසා විය යුතුය.

තම මව් බිම අතහැර වෙනත් රටකට  සංක්‍රමිකයන් ලෙස යන පුද්ගලයින් සහ කණ්ඩායම් පිළීබදව ආරංචි රාළට ඇත්තේ වෙනස් කියවීමකි.කිසිවෙකු තම මව්බිමේ තමන්ගේ කැමැත්ත සහ සිහින වලට අනුව ජීවත්විය හැකිනම් වෙනත් රටකට යන්නේ නැත. එහෙත් තමන්ගේ හුදු විමුක්තිය සහ ආත්මාර්ථකාමී අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙනත් රටකට සංක්‍රමණය වන්නෙකුට කිසිම රටක භුමි පුත්‍රයෙක් විය නොහැක.

කෙසේ වෙතත් වෙනත් රටකට සංක්‍රමණයට වීමට තමන්ට ලද අවස්ථාව සහ වරප්‍රසාදය තවත් කෙනෙකුට අහිමි කරන්නට කෙනෙකු පෙළ ගැසෙන්නේනම් ආරංචි රාළට ඔහුට හෝ ඇය සමග බේරා ගන්නට ලොකු ගනුදෙනුවක් ඇත.

 

ආරංචි රාළ 2025.09.02  137 වන දිගහැරුම

 

 

 

Comments

Popular posts from this blog