කට රැක ගන්නෝ - දිවි රැක ගන්නෝ.
ආරංචි රාළ කල්පනා කරන්නෙත් පුරවැසියා කල්පනා කරන ආකාරයටමය. පුරවැසියාට අනුව ආණ්ඩුව යනු විධායකයද ඇතුළත් ව්‍යවස්ථාදායකයි (පාර්ලිමේන්තුව).ඇයි ඉතින් මේ දෙකොටසට ම නියෝජිතයන් තෝරාපත් කරන්නේ පුරවැසියා ය.
පොලිස් සහ නීතිපති දෙපාර්තමේන්තුත්, විනිසුරු වරුන් ඇතුළු අධිකරණ පද්ධතියත් ආණ්ඩුව විසින් පාලනය නොකළ යුතු ස්වාධීන ආයතනයන් විය යුතු බව ආරංචි රාළගේ අදහසයි. අධිකරණ කටයුතුවලදී නීතියට ඇස් නොපෙනෙන බව කියන්නේ ඒ නිසාය.
පසුගිය කාලවලදී නම් අපේ පාලකයෝ නීතියත් තම හිතුමතේට පාලනය කළහ. එය වෙනම කතාවකි
අගවිනිසුරුවරියක දොට්ට දැම්මේත්, විනිසුරුවරුන්ට ගල් ගසා හූ කීවේත්, විනිසුරුවන් මිනී මස් කන්නන් (cannibals) ලෙස හැඳින්වූයේත් එවැනි පාලකයන් විසිනි. පුරවැසියා කල් ගතවී හෝ ඔවුන්ට දිය යුතු පිළිතුර දීී ඇත.
දැන් සිදුවන්නේ කුමක්ද ? අත් අඩංගුවට පත්වන සහ සිර ගතවන දේශපාලකයන් පවසන්නේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් හිරේ දමන බවය. ආණ්ඩුවේ දේශපාලකයෝද ඒ බව පිළිගනිති. 'ඔව් අපි දූෂිතයන් සහ අපරාධකරුවන් හිරේ දමනවා' යයි ඔවුහු පවසති.'තාත්තලාව පමණක් නොව අම්මලාවත් හිරේ දමනවා' යයි ඔවුහු වහසි බස් කියති.
මේ කතා අසන පුරවැසියාට සිතෙන්නේ පසුගිය කාල වලදී මෙන් දැනුත් ආණ්ඩුව විසින් අධිකරණ කටයුතු පාලනය කරමින් සිටින බවය. එම සිතිවිල්ලත් සමඟම අධිකරණය කෙරෙහි ඇති පුරවැසියාගේ විශ්වාසයද බිඳ වැටෙනු ඇත. අවාසනාවකට මෙන් රාජ්‍ය නායකයාද වැරදිකරුවන් හිරේ දමන බවට වහසි බස් කීමට පටන් ගෙන තිබේ.
ජනපතිවරණයට පෙර ඔහු කළ කතාවලින් පිළිබිඹු වූයේ නිහතමානි කමත්, මානව හිතවාදී බවත්, ගැඹුරු ජීවිත දර්ශනයත්ය.එහෙත් බොහෝ ආණ්ඩුවේ දේශපාලකයන් දැන් රඟපාමින් සිටින්නේ වෙනස් චරිතයන් කියලයි ආරංචි රාළට හිතෙන්නේ.
2/3 බලයක් ලැබීම යනු උද්දච්ච කතා කීමට ලැබෙන සහතිකයක් නොවන බව දේශපාලකයන් වටහා නොගන්නේ නම් එය උඩ බලාගෙන කෙළ ගසා ගැනීමකි. රාජ්‍ය පාලනය පිළිබඳව ඉක්මනින්ම දේශපාලකයන් ටියුෂන් ගත යුතුව තිබේ. අවශ්‍ය නම් ආරංචි රාළට එවැනි ටියුෂන් පන්තියක් සංවිධානය කර දිය හැක.
ආණ්ඩුව මතක තියා ගත යුතු සුවිශේෂී කරුණක් ඇත. එනම් ; කොස්ස තිබෙන්නේ පුරවැසියා අතේය. ජනතාවට කොකා පෙන්වමින් සිටි හිටපු නායකයන් අතු ගා දැම්මේ ඔවුන්ය. පළාත් පාලන මැතිවරණයෙන් පසු 2/3 න් ලක්ෂ විසි තුනක් අතු ගෑවී ගොස් ඇත.
ඒ නිසා විධායකය සහ ව්‍යවස්ථාදායකය තමන්ට අයත් කාර්යය පමණක් ඉටු කර, නීතිය බලාත්මක කිරීම අධිකරණ පද්ධතියට පවරා, වහසි වස් නොදොඩා සිටීම හැම දෙනාගේම හිත සුව පිණිස වන්නේය. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව,අධිකරණ සහ පොලිස් කොමිෂන් සභාවල ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුත්තේ ව්‍යවස්ථාදායකය විසින්මය. එම වගකීම ඉටු නොකර ගැලරි කතා කියමින් වීරයන් වීමට උත්සාහ කිරීම මෝඩ කමකි.
"කට රැක ගන්නා දිවි රැක ගන්නේය " යන වැකිය ආරංචි රාළ පාසල් යන කාලයේ පාසල් ගොඩනැගිල්ලේ බාල්ක වල ලොකු අකුරින් ලියා තිබුණේය. අවාසනාවට දැන් දේශපාලකයෝ එවැනි පාසැල්වල ඉගෙණ ගන්නේ නැත.
පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පසුබෑමට හේතුව "අලි ඔලුව සහ උද්දච්චකම " බව සමාජ මාධ්‍යයක පළවී තිබුණි.මෙවැනි ප්‍රකාශයන් ගැන උරණ නොවී නිහතමානිව ජනතාව අතරට බැසීම කාටත් හොඳය.
තමන්ට හිතවත් ඡන්ද දායකයින් ඡන්ද පොළට කැඳවාගෙන යාමට කිසියම් පක්ෂයක් අපොහොසත් වී ඇත්නම් එය තමන්ගේ පරාජයක් බව පිළිගන්නට ඕනෑම පක්ෂයක් නිහතමානි විය යුතුය. තමන් විසින් පත් කරගන්නා ආණ්ඩුව තම අපේක්ෂාවන් ඉටු නොකරන බව ජනතාවට හැඟේ නම්, ඊළඟ මැතිවරණ වලදී ඡන්දදායකයන්ගෙන් 50% වත් ඡන්ද පොළවලට නොයනුු ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයද වනු ඇත.
ආරංචි රාළ; 2025.05.11. - 99 වන දිගහැරුම
ෂෙල්ටන් පීරිස්ගේ සටහනක් ඇසුරිනි.
Comments
Post a Comment