කොළඹ මහනගර සභාවේ වැඩි සභිකයන් සංඛ්‍යාවක් ඉන්නේ ජාතික ජන බලවේගයටය.
කොළඹ පුරපතිනිය විය යුත්තේ ව්‍රායි කැලී බල්තසාර් ය.
2024 වර්ෂයේ අයවැයෙන් පැහැදිලි ලෙස මුදල් වෙන්කර තිබුණද, ජනතාව විසින් පලවා හරිනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට මහින්ද රාජපක්ෂලාගේ පොහොට්ටුවේ අනුහසින් අනුපාත්තික ජනාධිපති ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ විසින් හිතාමතාම කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණය මේ වනවිට පවත්වා ඇත. අවසාන ප්‍රතිඵලය කුමක්දැයි සියල්ලෝ දනිති.
ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ මූලධර්ම ගැන හොඳින් දන්නා සහ ඒවාට අවංකව ගරු කරන අයට ප්‍රශ්නයක් නොවුනද පරාජිත දේශපාලන පක්ෂ කීපයක් තමන්ට නැති ජනතා කැමැත්තක් තැනින් තැනින් අහුලා ගත් කණ්ඩායම් කීපයක සභිකයන් එකතු කරගනිමින් ස්ථාපිත කරන්නට හදන පාලනය ගැන නම් ආරංචි රාළට ඇත්තේ වචනයෙන් කිව නොහැකි තරම් කේන්තියකි.
මහ නගර සභාවක, නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක ආණ්ඩු බලය හිමිය විය යුතුව ඇත්තේ ඡන්දයෙන් එම සභාවේ වැඩිම සභිකයන් පිරිසක් ලබාගෙන තිබෙන දේශපාලන පක්ෂය හෝ කණ්ඩායමය. එම කණ්ඩායම විසින් නම් කරනු ලබන තැනැත්තා හෝ තැනැත්තියට, නගරාධිපති හෝ සභාපති ලබා ගැනීමට ඉඩ හරිමින් සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යාමට සහයෝග දක්වනවා මිස තනතුරු තමන්ගේ පක්ෂයට ලබා ගැනීමට දරණ කිසිදු වෑයමක් ආරංචි රාළ අනුමත කරන්නේ නැත.
මේ අනුව කොළඹ මහා නගර සභාවේ පුරපතිනිය විය යුත්තේ එම සභාවේ වැඩිම සභිකයන් සංඛ්‍යාවක් ලබා ගෙන සිටින ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මියයි.
පසුගියදා අවසන් වූ කැනඩාවේ මහ මැතිවරණයේදී ලිබරල් පක්ෂයට සමස්ථ මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට පණහකට වැඩි ප්‍රමාණයක් ලැබුණේ නැත. එහෙත් වැඩි ආසන සංඛ්‍යාව හිමිකර ගත්තේ ලිබරල් පක්ෂය යි. එබැවින් මෙම පක්ෂයේ නායකයා රටේ අගමැති බවට පත්කර ගන්නා ලදී.
කොළඹ සිදුවිය යුත්තේ ද මෙයයි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සභාවේ වැඩ කටයුතු නිසියාකාරයෙන් පවත්වාගෙන නොයන්නේ නම් ඇය විසින් ගෙන එන යෝජනා සහ වැඩ පිළිවෙළවල් නිත්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සභාවේ පවත්වන ඡන්දයකින් පරාජය කළ හැකි අතර ඇයට පුරපති කම අතහැර යන තත්ත්වයට වාතාවරණය නිර්මාණය කළ හැක.
කොළඹ නගරයට අබමල් රේණුවක තරම් හෝ ආදරයක් තියෙනවා නම්, තවමත් තමන් ජීවත් වෙන නගරයේ පරිපාලනය අවුල් නොකර ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට පුරපතිනිය ලෙස කටයුතු කිරීමට ඉඩකඩ සලස්වා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මේ මොහොතේ කළ යුත්තේ තමන්ට හිමි සභිකයන් ට කොළඹ මහ නගර සභාවේ විපක්ෂයේ අසුන් ගන්නා ලෙස ඉල්ලා සිටීමය.
ජනතාව විසින් දී නැති බලයක් කෘතිමව ආරූඪ කර ගනිමින් තවත් වසර හතරක් ජනාධිපතිවරයා වීමට සිහින දැකපු රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව දුන් තීරණය හොඳින් කල්පනා කර බැලිය යුතු බව ආරංචි රාළගේ ඉල්ලීම යි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද ආරංචි රාළට කියන්න ඇත්තේ ඒ ටිකමය.
ආරංචි රාළ; 2025.05.17- 103 දිගහැරුම
Comments
Post a Comment