ආරංචි රාළ - 100
යුද්ධයක් දකුණු ආසියාවට දරා ගත නොහැකිය.
දකුණු ආසියාව යුධමුක්ත කලාපයක්?
හැකි ඉක්මනින් සාර්ක් නායකයින්ගේ සමුළුවක්?
දකුණු ආසියාවට අයත් වන්නේ ලෝකයේ බිම් ප්‍රමාණයෙන් සියයට 3ක් පමණ ප්‍රමාණයක් උනත්, එහි ජනගහණය බිලියන 2කට ආසන්න ප්‍රමාණයකි. එය ලෝකයේ මුළු ජනගහණයෙන් 25%ක් වේ. ඒ අනුව දකුණු ආසියාව ලෝකයේ ඉහළම ජනගහණ ඝනත්වයන්ගෙන් යුතු භුමි ප්‍රදේශයකි. දකුණු ආසියාවේ නගර රැසක ජනගහණ ඝනත්වය ඉතා අධිකය. පකිස්තානයේ "කරච්චි" සහ ඉන්දියාවේ කොල්කටාහි ජනඝනත්වය ලෝකයේ වෙනත් කිසිම නගරයක් සමග සන්සන්දනය කල නොහැකි තරම්ය.
මෙවැනි ඉතාම ඉහළ ජනගහණ ඝනත්වයක් ඇති රටවල් දෙකක් අතර ඇතිවන යුද්ධයකදී මියයන මිනිසුන්ගේ සංඛ්‍යාව කිසිවෙකුට අනුමාන නොකළ හැකි වන අතර එය මහා මිනිස් සංහාරයක් වනු ඇත. ඉන්දියාවේ සහ පකිස්ථානයේ නායකයින් යුද්ධයකට පැටලීමට කලින් යුද්ධයක් නිසා මියයා හැකි තමන්ගේ ජනතාව ගැන සිතිය යුතු බවයි ආරංචි රාළ අවදාරණය කරයි.
ඉන්දියාවේ සහ පකිස්ථානයේ ඇති යුධ ශක්තිය සහ මෙම රටවල් දෙකටම ඊනියා බලවත් රටවල් වලින් ආයුධ ලබා ගැනීමට ඇති හැකියාව මෙන්ම දෙරටටම ඇති න්‍යෂ්ටික ආයුධ පිලිබදව සලකා බලන විට යුද්ධය කුමන දිසාවකට විහිදෙනු ඇති දැයි කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකිවනු ඇත.
දෙරට යුද්ධයකට පැටලුනහොත්, මුල් දින කිහිපයේදී සාම්ප්‍රදායික ආයුධවලින්ම ඉතා ඉහළ මරණ සිදුවන අතර කාලය සමඟ රටවල් දෙකම න්‍යෂ්ටික ආයුධ භාවිතයට යොමු වී රටවල් දෙකට පමණක් නොව සමස්ථ දකුණු ආසියානු කලාපයටම සිදුවිය හැකි මහා විනාශය ගැන ආරංචි රාළටනම් සිතා ගැනීමටවත් නොහැකිය. මෙවන් වාතාවරනයක් තුළ මෙය හුදු පකිස්තානය සහ ඉන්දියාව අතර ඇවිලෙන යුද්ධයකට වඩා දකුණු ආසියානු කලාපය තුළ ඇතිවන යුද්ධයක් වනු නිසැකය. දැනටමත් ඉන්දියාව පකිස්ථානයේ තෝරා ගත් ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ලකර ඇති අතර පකිස්ථානය එයට ප්‍රතිචාර ලෙස ඉන්දියාවේ ප්‍රදේශ කීපයකට ගුවන් ප්‍රහාර එල්ලකර ඇත.
මෙම යුද්ධය අනිවාර්යෙන්ම නැවැත්විය යුතුය.
දකුණු ආසියානු කලාපිය සහයෝගිතාවය වෙනුවෙන් පිහිටුවා ගනු ලැබූ (South Asian Association for Regional Cooperation - SAAEC ) සාර්ක් සංවිධානයේ වැදගත්කම මතුවෙන්නේ මෙවන් තීරණාත්මක අවස්ථාවකදීය. 1985 දෙසැම්බර් මාසයේ පිහිටුවාගනු ලැබූ මෙම සංවිධානය කාලයක් ඉතා ශක්තිමත් ලෙස ක්‍රියාත්මක උවද 2014 දී නේපාලයේ කත්මන්ඩු නගරයේදී හමුවීමෙන් වසර දහයකට වැඩි කාලයක් සාර්ක් සංවිධානයේ නායකයින් මුණ ගැසී නැත.
අවාසනාවකට කාලයක් තිස්සේ, ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින යම් නොපනත්කම් මෙන්ම ඉන්දියාව සහ බංගලාදේශය අතර පවතින නොසන්සුන්තාවයන් මෙයට හේතුව විය හැක. කෙසේ වුවද සාර්ක් ලේකම් කාර්යාලය සංවිධානයට අයත් රටවල් අතර විවිධ සංස්කෘතික,ආර්ථික,කලා ,අධ්‍යාපන සහ ක්‍රීඩා සහයෝගිතා වැඩසටහන් දිගටම පවත්වාගෙන යන බව පෙනෙන්නට ඇත.
මේ තීරණාත්මක අවස්ථාවේදී කලාපයේ ආරක්ෂාව පිලිබදව නිශ්චිත එකගතාවයකට පැමිණීම සහ සියලුම සාමාජික රටවල් තම රටේ විශාලත්වය, ආර්ථික,යුධ ශක්තිය හෝ ජනගහනය අනුව නොව රාජ්‍යයන් ලෙස සම හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය ආරංචි රාළ දිගින් දිගටම අවදාරණය කරන අතර සියලුම සාමාජික රටවල් වල එකගතාවයකින් සාමාජික රටවල් දකුණු ආසියාව යුධමුක්ත කලාපයක් ලෙස ප්‍රකශ කල යුතු බව යෝජනා කරයි. මෙහිදී ඉන්දියාව මෙන්ම පකිස්ථානයද සමග ඉතා හොද රාජ්‍ය තාන්ත්‍රික සබදතාවයක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාව මේ යෝජනාව සාමජික රටවලට ඉදිරිපත් කරමින් හැකි ඉක්මනින් සාර්ක් නායකයින්ගේ සමුළුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු කළ යුතුව ඇත.
යුද්ධයකදී එයට සම්බන්ධවන පාර්ශවයන් හැම විටම එකිනෙකා මුනනොගැසී සිටීමට උත්සාහ කරන අතර සාමය ගොඩ නැගීමේ අතිශයින්ම තීරණාත්මක ප්‍රවේශය වන්නේ එකිනෙකා මුණ ගැසීමය.
මේ පින්බර වෙසක් දිනයේදී ආරංචි රාළ තම 100 වන දිගහැරුම විරසකවී විනාශකාරී යුද්ධයකට පැටලෙන්නට ආසන්නයේ සිටින ඉන්දියාව සහ පකිස්තානය එකට මුණ ගැසීමේ යෝජනාවක් වෙනුවෙන් වෙන්කරන්නේ කලාපයේ සාමය පිලිබදව මහත්වූ බලාපොරොත්තුවෙන් යුතුවය.
ආරංචි රාළ : 2025. 05.12 - 100 වන දිගහැරුම
Comments
Post a Comment