සිද්ධීන් කීපයක් කේන්ද්‍ර කරගෙන සිසුන්ට දඩුවම් කිරීමෙන් නවක වදය අපරාධයක් කර ගැනීම වැලැක්විය නොහැකිය?
නවක වදය පිළිබඳව කතිකාව ආයෙත් කරලියට පැමිණ ඇත. කාලයෙන් කාලයට මෙය සමාජ කතිකාවක් බවට පරිවර්තනය වන්නේ නවක වදයට සබැඳිව කිසියම් අවාසනාවන්ත සිදුවීමක් සිදු වූ විටය.
පසුගිය දශක පහ හය පුරාවටම නවක වදය නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා සිසුන් කීප දෙනෙකුටම ජීවිත අහිමි වු අතර තවත් කීප දෙනෙක් සදාකාලික ආබාධිතයන් බවට පත්විය. එසේම සැලකිය යුතු සිසු සිසුවියන් ප්‍රමාණයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර ගොස් ඇති අතර ඒ සමාන ප්‍රමාණයක් නවක වදයට බියෙන් සරසවියට තමන්ගේ අයදුම් පතවත් යොමු කර නැත.
මෙහි ආරම්භය කෙසේ වීදැයි ආරංචි රාළ හරියටම දන්නේ නැත. කොයි හැටි වෙතත් ආරංචි රාළ සරසවි සිසුවෙකු ලෙස නවක වදයේ සුන්දරත්වය ජීවමානව අත් දකිනු ලැබූ කෙනෙකි. එබැවින් නවක වදය තහනම් කළ යුතු යැයි යන දැඩි මතයේ ආරංචි රාළ කිසි දිනෙක සිටියේ නැත.
අනිත් අතට නවක වදයට වඩා බොහෝ වදයන් සිසුන්ට සරසවියේදී විදින්නට සිදුවන බව ආරංචි රාළ දනියි.
එහෙත් නවක වදය මිනිස් ජීවිතයක් අහිමි කිරීමට හෝ කෙනෙකු සදාකාලික ආබාධ තත්ත්වයට පත් කිරීමට, නැතිනම් සිසු සිසුවියන්ට තමන්ගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම හැර දමා ගෙදර යන තත්ත්වයක් උදාකරමින් අපරාධයක් දක්වා වර්ධනය වන්නේ නම් ආරංචි රාළට වුවද නවක වදය පිළිබඳව නැවත කියවන්නට සිදුවනු ඇත.
අදට වසර ගණනාවකට පෙර සරසවිය තුළ මහා සමාජයෙන් වියුක්තව යම් උප සංස්කෘතීන් ක්‍රියාත්මකවූ බව රහසක් නොවේ.
සරසවි සිසු සිසුවියන් අතර භාවිතා වන භාෂාව, ඔවුන්ගේ කොණ්ඩා සහ රැවුල් විලාසිතාවන් සේම ඇඳුම් පැළඳුම් පවා සාමාන්‍ය තරුණ තරුණියන්ට වඩා කිසියම් සුවිශේෂී බවකින් යුක්ත විය. ඔවුන් කතා කරන භාෂා විලාශය සහ අඳින පළඳින ආකාරය අනුව මේ ඉන්නේ කැම්පස් කාරයෙක් යැයි තවත් කෙනකුට අනුමාන කළ හැකි තරමට සුවිශේෂ වූ අනන්‍යතාවයක් එම සංස්කෘතිය සමගම ගොඩනැගී තිබුණි.
දේශපාලනමය වශයෙන් වුවද බහුතරයක් නොවුනත් කිසියම් සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් අපි දුටුවෙමු.
සමාජ ක්‍රමයේ සැබෑ වෙනසක් වෙනුවෙන් 1971 සහ 1988/89 මේ රටේ ඇතිවූ ප්‍රධාන තරුණ කැරලි වලට ලොකු දායකත්වයක් සරසවි සිසුන් විසින් ලබා දෙන ලදී. එනිසාම ඔවුන්ට තමන්ගේ ජිවිත පුජා කිරීමට සිදුවූ බව රහසක් නොවේ.
ඒ අනුව බලන විට සරසවියට ම අනන්‍යවූ සුන්දර සම්ප්‍රදායක් වූ නවක වදය මේ සමාජයට හිසරදයක් වීම පිටුපසින් දිවෙන සමාජ යථාර්ථය අප අවබෝධ කරගත යුතුය. මක්නිසාද යත් මෙවන් අපරාධවලට යොමුවන සරසවියේ සෙසු සිසුවියන් නවක වදය සරසවියේ තහනම් කළ පමණින් සමාජයෙන් විතැන් වන්නේ නැත. සරසවියේදී තමන්ට එම අපරාධය කරන්නට අවස්ථාවක් නොලැබෙන විට ඔවූහු නියත වශයෙන්ම වෙනත් ස්ථානයකදී හෝ අවස්ථාවකදී එය කරනු ඇත.
හුදු අවාසනාවන්ත සිද්ධීන් කීපයක් කේන්ද්‍රකරගෙන නවක වදය මුවාවෙන් අපරාධ කළ සිසු සිසුන් කීපදෙනෙකුට දඩුවම් කිරීමෙන් නවක වදය අපරාධයක් කර ගැනීම වැලැක්විය නොහැකිය. එසේනම් මෙවන් නින්දිත ආකාරයෙන් නවක වදය අපරාධයක් බවට පත් කරන විෂම තත්ත්වයන් සහ ඒවාට සම්බන්ධ වෙන සිසු සිසුවියන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කළ යුතුව ඇති බව ආරංචි රාළ තරයේ විශ්වාස කරයි. එය එතරම් පහසු දෙයක් නොවුනත් නිසි වැඩපිළිවෙලක් යටතේ සමස්ථ සිසු සහ ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් එය කල හැකි බවනම් නියතය.
ආරංචි රාළ 2025.05.05 - 95 වන දිගහැරුම.
Comments
Post a Comment