ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සදහා වන කාර්‌යාලයේ සභාපති  විජිත් රොහාන් ප්‍රනාන්දු

ආගමයි නිරාගමයි අතර ගැටෙන දේශපාලනය, ධාර්මික කර ගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ සෑම මැතිවරණ වේදිකාවම පාහේ කරලියට පැමිණෙන මාතෘකාවක් ලෙස ආගම්වාදය හා ජාතිවාදය හදුනාගත හැකිය. පසුගිය ජනාධිපතිවරණ සමයේදීත් මෙවන් ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ බොහොමයක් සමාජය තුල දැක ගැනීමට හැකි වූ අතර ඒ අතර, නිරාගමික රාජ්‍යක් යන කාරණාව කෙරෙහි කාගේත් වැඩි අවධානයක් යොමුවූ බව කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රිස්තියානි සංස්කෘත අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මෙන්ම වර්තමාන ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සදහා වන කාර්‌යාලයේ සභාපති  විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා  'ආරංචි රාළ ' සමග පැවසිය.

ආරංචි රාළ  වෙනුවෙන් විජිත් රොහාන් ප්‍රනාන්දු සමග දොඩමළු හර්ෂණ පෙරේරා ආරංචි රාළ පිටුවේ කළ  සටහන මෙතැන් පටන් ඔබට කියවිය හැක.

රටක සංර්වධන පිළිබද සාකච්ඡා කිරීමේදී අපි සියලු දෙනාටම මග හැරීමට නොහැකි කාරණාවක් වන්නේ ජාතික සමගිය හා සංහිදියාවයි. මන්ද රටක ආර්ථික සංවර්ධනයට ආර්ථික ස්ථාවරත්වය වැදගත් සේම ආර්ථිකය ස්ථාවර වීමට ජාතික සමගිය හා ආගමික සංහිඳියාව ඉතාමත් වැදගත් වීමයි. ආගමික සංහිදියාව ගැන කතා කරන විට ශ්‍රී ලංකා සමාජයේ ඇති ඉතාමත් වැරදි මතයක් වන්නේ නිරාගමික රාජ්‍ය යනු ආගමක් නොමැති වීම යැයි සිතීමයි. එහෙත් නිරාගමික රාජ්‍ය යනු එම රටෙහි ආගමක් නැතැයි යන්න නොවේ. එනම් එම රාජ්‍ය අනාගමික රාජ්‍යක් බවයි.

සරලවම කිව්වොත් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදී ඇත්තේ මෙම නිරාගමික රාජ්‍යය සංකල්පයටයි. එනම් අප රටේ ව්‍යවස්ථාව සෑදී ඇත්තේ ආගමක් මත පදනම්ව නොවේ. උදාහරණයක් ලෙස අප රටේ ව්‍යවස්ථාවේ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන ලෙස සඳහන් වුවද, සිතීමේ හා හෘද සාක්ෂිය නිදහසට අනුව තමන්ට කැමති ඕනෑම ආගමක් ඇදහීමටත් ආගමක් වෙනස් කිරීමටත් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම පැවරා දී ඇත. එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දක්වා ඇත්නම්, එවැනි රාජ්‍ය නිරාගමික රාජ්‍ය ලෙස හැඳින්විය හැකිය. එසේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නිදහසක් ලබා දී නොමැති රාජ්‍යන් ආගමික රාජ්‍ය වනවා.

අප රටේ ප්‍රධානතම ආගම වන බුදු දහම ගතහොත්, බුදු දහම යනු මුල සිටම ආගමික නිදහසට බෙහෙවින්ම ගරු කල ආගමකි. එනම් බුදු දහම තිබූ සෑම තැනකම ආගමික නිදහසට ලොකු ඉඩක් ලබා දී තිබෙනවා ය යන්නයි. මන්ද පෘතුගීසි, ලන්දේසි යුගයේ පවා කිතුණු ආගම් හට ව්‍යාප්ත වීමට බෞද්ධ ආගම බෙහෙවින් ඉඩ ලබා දී තිබෙනවා. උදාහරණයක් ලෙස ලන්දේසි යුගයේ විසූ කිතුණු පූජකතුමෙක් වන ජාකෝමේ ගොන්සාල් වෙස් තුමන් විසින් ලියූ ලිපි ගණනාවක් හමුවෙනවා.

ඒ අතරින් බුද්ධ බණ ප්‍රත්‍යක්ෂය, මාතර ප්‍රත්‍යක්ෂය, බොදු මුල යන ලිපි හරහා ආගමික සදාචාරයට බොහොම පටහැනි ලෙස බෞද්ධ ආගම ඉතාම දැඩිව විවේචනය කර තිබෙන ආකාරය දැක ගත හැකි. එහෙත් මේ ආකාරයට කෙතරම් බෞද්ධ ආගම විවේචණය කළ ද, ගොන්සාල්වෙස් පියතුමාට බෝලවත්ත දේවස්ථානයට පැමිණ කිතු දහම දේශනා කිරීම සදහා ඉඩ දීමට තරම් බෞද්ධ සමාජයේ ආගමික නිදහසක් පැවත තිබෙනවා.

ලංකාවේ සිංහල බෞද්ධ ආගම ගත් කල ඉතා ජාතිවාදී යැයි පවතින මතය දේශපාලනිකව නිර්මාණය කරන ලද කාරණාවන්ය.

උදාහරණයක් ලෙස 2024 දී රට වෙනස් වන අකාරය සලකා බැලුවහොත්, ජනාධිපතිවරණයෙන් වත්මන්  ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කල පසු කිසිදු ජාතිවාදී ආගම්වාදී කලබැගෑණියක් සිදු වූයේ නැත. එසේ වීමට හේතුව වන්නේ බහුතර ජනතාව සාමකාමී වීමයි. එසේ නම්, මීට පෙර බිහි වූ ආගම්වාදය ජාතිවාදය වැනි දේ දේශපාලනිකව බලය ලබා ගැනීම සදහා සකසපු කාරණා බව තහවුරු වනවා.

උදාහරණයක් ලෙස හෙළ උරුමය වැඩියෙන්ම ඡන්ද ලබා ගන්නේ කුමන ප්‍රදේශ වලින් දැයි බැලුවහොත්, ඒවා බොහෝමයක් මහරගම හෝමාගම වැනි ප්‍රදේශ. එම ප්‍රදේශ වල ජනතාවගෙන් බහුතරයක් නියෝජනය කරන්නේ නගර ආශ්‍රිත ජනප්‍රිය බුද්ධාගම වැළඳ ගත්ත ප්‍රභූ පංතියක්. නමුත් අනුරාධපුරය පොළොන්නරුව වැනි බෞද්ධ ප්‍රදේශ වලින් හෙළ උරුමයට ඡන්ද නොලැබුණේ මන්දැයි යන්න බැලුවහොත් මේ බව හොඳින් තහවුරු වෙනවා. එසේම ඩෑන් ප්‍රියසාද් ආදී පිරිස පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒම සදහා මුස්ලිම් ජනතාවට එරෙහි මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට කෙරූ සෑම ක්‍රියාවක්ම දේශපාලනිකව නිර්මාණය කරන ලද අන්තවාද.


ආගමික රාජ්‍යක් යනු, එම රටේ ව්‍යවස්ථාව එක් ආගමක් මත පදනම්ව සැකසී ඇති බවයි. ආගමික රාජ්‍යයක ඇති මූලිකම ස්වරූපය වන්නේ සිතීමේ සහ හෘද සාක්ෂියේ නිදහස ඇතුළු ආගමික නිදහසට ඉඩක් නොමැති කමයි. ඒ නම් රාජ්‍යයෙහි ආගම හැර වෙනත් කිසිදු ආගමක් ඇදහීමට නිදහසක් නොමැති වීමයි. එය එක්තරා ආකාරයක ආගමික අන්තවාදයකි.

උදාහරණයක් ලෙස පකිස්ථානයේ ක්‍රිස්තියානි ආගම තිබුණද ඊට විශාල වශයෙන් නිදහසක් දී නොමැත. වර්තමානය වන විට සෞදි අරාබියේ සෞදි කුමාරයා නිරාගමිකයි ලෙස පෙන්වන හෙයින් වර්තමානය වන විට එම රට තුල තරමක ආගමික නිදහසක් දැක ගැනීමට හැකිය.

1979 ට පෙර මුල් කාලයේ ශ්‍රා නැමැති රජෙකු යටතේ නිරාගමිකව පැවැති ඉරානය, පසුකාලීනව සම්පූර්ණයෙන්ම ඉස්ලාම්කරණයට නතු විය. මේ වන විට ඉරානයේ ක්‍රිස්තියානි ජනතාවගේ ප්‍රමාණය ඉතාම අඩු මට්ටමකයි පවතින්නේ.

යුරෝපයේ ආගමික ඉතිහාසය අධ්‍යයනය කරන විට ආගමික රාජ්‍ය සහ අනාගමික රාජ්‍යය අතර වෙනස හොදින් පෙනෙනවා. කිතුණු ආගම පළමු, දෙවන, තෙවන සියවස් වල වසර තුන්සියයක පමණ කාලයක් අධිරාජ්‍යයේ පීඩාවට ලක් වූ අතර, ඉන්පසු නිරාගමික රාජ්‍ය යන සංකල්පය යටතේ කොන්ස්ටන්ටයින් අධිරාජයා විසින් කිතුණු ආගම ඇතුළු සියලු ආගම් සදහා නිදහස ලබා දුන්නද, එම ක්‍රිස්තියානි සභාවම ක්‍රිස්තු වර්ෂ 385 දී තියඩෝ ශ්‍රියස් රජු යටතේ කිතුණු ආගම රාජ්‍යය ආගම බවට පත්වු පසු, නොකිතුණු ආගම් පීඩාවට පත් කර, ඔවුන්ව ක්‍රිස්තියානිකරණයට නතු කරනවා.

මෑත කාලයේදී ආගමික සංහිදියව පිළිබද කතා කිරීමේදී අපට අමතක කල නොහැකි තවත් කාරණාවක් වන්නේ ගෝල්‍ෆේස්  ජනතා අරගලයයි. එම අරගලය රාජපක්ෂලාගේ ජාතිවාදී ආගම්වාදී දැක්මට අභියෝග කරන අයුරු අප දුටුවා. අරගලය හේතුවෙන් මිනිස්සු දේශපාලනිකව දැනුවත් වීම සිදු වුණා. ඒය දේශපාලන පක්ෂයකින් කිසිදාක සිදු කල නොහැකි දෙයක්. පවුලම සහභාගි වුණු සක්‍රීය දේශපාලන සංස්කෘතියක් අරගලයෙන් නිර්මාණය වුණා. කිසිදු බලපෑමකින් තොරව ජනයාගේ ඒකරාශී වීමක් දැක ගන්න ලැබුණා. ජනතාවාදී අරගලයෙන් පැමිණි ඒ විමුක්ති හරය ඒ ආකාරයෙන්ම ග්‍රහණය කර ගැනීමට හැකි වුයේ ජාතික ජන බලවේගයටයි. ඔවුන්ගේ ජයග්‍රහණයට හේතුව අරගලයේ විමුක්ති හරය ඔවුන් විසින් අවබෝධ කර ගැනීමයි.

අරගලය අවසන් වන්නේ පරාජිත ස්වභාවයකින් සහ ජනතාව නොසිතූ නායකත්වයක් බලයට ගෙන එමින් වුවද එය එක අතකට වාසි සහගත වුණේ, රනිල්ට පුළුවන් යැයි මිනිස්සුන් තුල තිබුනු අන්තිම සිතුවිල්ලත් අවසන් කිරීමට හැකි වීම නිසයි.

මෙසේ සලකා බැලීමේදී පැහැදිලි වන තවත් කාරණාවක් නම්, අප රටේ මිනිසුන් බෙහෙවින් ආගමික බවයි. නමුත් ආගමික වීම යන කාරණාවෙන්ම පමණක් අපට නතර වීමට නොහැක. මන්ද ආගමිකයි යනු, තව දුරටත් වත් පිළිවෙත් ගැති වීමකි. එහෙත් බුදු දහම යනු, දර්ශනයකි. දර්ශනයක් පවත්වා ගෙන යාමට වත් පිළිවෙත් අවශ්‍ය වුවද, දර්ශනය මඟ හැරෙන්නට දිය නොහැකිය. ධාර්මික භාවය යනු බුදු දහමේ සාරයයි. සරලව කිවහොත් රාජ්‍ය නාට්‍ය උළෙලට ගිය විට එම තරුණයින්ගේ නාට්‍ය නිර්මාණයන්හි තේමා කවරේද බැලුවහොත්, ඒවා බොහෝමයක් මානව හිතවාදී තේමා වනවා. ඒ තුල පුදුමාකාර වූ ධර්මයක් පවතිනවා.

අප රටේ සිල් පද පහ රකින දේශපාලනඥයින් සිටියා නම් මේ රට කිසිදිනෙක මෙතරම් බංකොලොත් වන්නේ නැත. ඔවුන් ආගම ජාතිය ප්‍රයෝජනයට රැගෙන සිය දේශපාලන ව්‍යාපෘති සඳහා අයතා ලෙස දීර්ඝ කාලයක් භාවිතා කලා.

බුදු දහමේ ඇති විමුක්ති හරය අපි දේශපාලනයට රැගෙන ආයුතුයි. එසේ වුවහොත් බුදු දහමට අනුව ජාතිවාදය ආගම්වාදය කුලවාදය ආදී කිසිවකට පැවැතමක් නැත.

විජිත් රොහාන් ප්‍රනාන්දුට අනුව ; කිසිදු ආගම්වාදයකට ජාති වාදයකට ඉඩක් නොදිය යුතුයි. සෑම මනුෂ්‍යයෙකුගේම බලාපොරොත්තුව විය යුත්තේද එවැනි ධාර්මික දේශපාලනයක්. එනම් අප නිර්මාණය කල යුත්තේ ආගමකට එහා ගිය ධාර්මික මානව හිතවාදී මිනිසෙක්.

ආරංචි රාළ : 2025.05.28 - 107 වන දිගහැරුම

සාකච්ඡාව සහ ලිපිය සම්පාදනය  : හර්ෂණ පෙරේරා

 

 

 

 

 

Comments

Popular posts from this blog